වැලිගම W- 15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොල අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊයේ රාත්‍රී 11.45ට පමණ අත්අඩංගුවට ගනෙ තිබෙනවා.
පසුව විමර්ශන කටයුතු සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
2023 වසරේ දී වැලිගම W – 15 හෝටලය අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකු මියගියා.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
එම සිද්ධියට අදාළව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඒ වන විට සිටියේ විදෙස්ගතවයි.





