මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ අදහසක් නොමැති බව හර්ෂ ද සිල්වා පවසයි

පටු දේශපාලන වාසි වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා බවත් මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ කිසිදු අදහසක් නොමැති බවත් සමගි ජනබලවේලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කරනවා.
ඔහු මේ බව සදහන් කරන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්

සමගි ජනබලවේලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුමේ ඊයේ දින විශේෂ සටහනක් තබා තිබුනා.
එහි සිය දේශපාලන අනාගතය, පක්ෂ ස්ථාවරය සහ රට පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම සටහන ආරම්භ වන්නේ තම පවුලේ කිසිවෙකු දේශපාලනයට සම්බන්ධ නොවූ බව සඳහන් කරමින්.
තරුණ වියේ සිට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ අරමුණින් තමන් දේශපාලනයට පිවිසි ඇති බවත්
තමන් පටු දේශපාලන වාසි වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා බවත් අවධාරණය කරන ඔහු, මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ කිසිදු අදහසක් නොමැති බවද එහි සඳහන් කර තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ දූරදර්ශී ආර්ථික දැක්ම විවේචනය කරන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නොමැතිව රට ගොඩනැගිය නොහැකි බවයි.
උපුරා ගැනිම
රටට අලුත් යුගයක් අවශ්‍යයයි !
මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.
දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා.
මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස්වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.
මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණවලින් පේනවා.
ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.
ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

සමගි ජනබලවේලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බැව් අනාවරණය කරන්නේ ඔහු ආන්ඩුව ට එක්වීමේ සූදානමක් පවතින බවට පැතිර යන විවිධ කට කතා මධ්‍යයේ වීම විශේෂත්වයක්.

Share