ට්‍රම්ප් විසින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමත් සමග ගල්ෆ් මිත්‍ර රටවල් මවිතයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහාය වීම සඳහා වූ තම සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම අවලංගු කර ඇත්තේ, ප්‍රමුඛ පෙළේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටක් විසින් එම මෙහෙයුම සඳහා අමෙරිකානු හමුදාවට තම කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීම නිසා බව අමෙරිකානු නිලධාරීන් පවසනවා.
පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය හරහා ට්‍රම්ප් විසින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමත් සමග ගල්ෆ් මිත්‍ර රටවල් මවිතයට පත් වී ඇති අතර, එය සවුදි අරාබියේ නායකත්වයේ දැඩි නොසතුටට හේතු වූ බවයි එම නිලධාරීන් පවසා ඇත්තේ
ඒ අනුව රියාද් අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරෙන් ගුවන් යානා මෙහෙයවීමට හෝ අදාළ මෙහෙයුම සඳහා සවුදි ගුවන් සීමාව භාවිත කිරීමට අමෙරිකානු හමුදාවට ඉඩ නොදෙන බව සවුදි රජය අමෙරිකාවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ට්‍රම්ප් සහ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති දුරකථන සංවාදයකින් ද මෙම ගැටලුව විසඳී නොමැති බව සඳහන්.
මේ හේතුවෙන්, ඉතා වැදගත් ගුවන් සීමාවන් සඳහා පවතින ප්‍රවේශය යළි ලබාගැනීමේ අරමුණින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම තාවකාලිකව නැවැත්වීමට ජනාධිපතිවරයාට සිදුව තිබෙනවා.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති අවහිර කිරීම් බිඳ දැමීම සඳහා ට්‍රම්ප් මෙම මෙහෙයුම ප්‍රකාශයට පත් කළා.
කටාර් සහ ඕමාන් වැනි රටවල් ද මෙම නිවේදනය ගැන කල්තියා දැනුවත් කර නොතිබූ අතර, ඕමානය ප්‍රකාශ කළේ අමෙරිකාව පළමුව නිවේදනය නිකුත් කර පසුව තමන් හා සම්බන්ධීකරණය වූ බවයි.
මෙම මෙහෙයුම යටතේ අමෙරිකානු හමුදාව විසින් නෞකාවලට ආරක්ෂාව සපයමින් ඒවා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට ගෙන යාමට කටයුතු කළ අතර මෙහෙයුම නැවැත්වීමට පෙර අමෙරිකානු ධජය යටතේ යාත්‍රා කළ නෞකා 2ක් ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය පසු කර තිබුණු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් පසුව පැවසුවේ දැනට පවතින යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානය මැදිහත් වී ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සඳහා සවුදි අරාබිය සහාය දක්වන අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට අවස්ථාවක් ඇත්දැයි බැලීමට මෙම මෙහෙයුම කෙටි කාලයකට අත්හිටුවන බවයි.

මේ අතර, සටන් විරාමයකට එකඟවීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙහ් ප්‍රදේශයටයි
ප්‍රහාරය එල්ල වීමත් සමඟ විශාල ගින්නක් ඇතිව තිබෙන අතර, ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය තමන් පෞද්ගලිකව අනුමත කළ බවයි
හිස්බුල්ලා සාමාජිකයින් රැස්වීමක සිටියදී මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ එල්ල වී ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 16 වන දින ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බේරූට් වෙත එල්ල වූ පළමු ප්‍රහාරය මෙයයි.

මේ අතර, ඉරානයේ යුද්ධය “ඉක්මනින් අවසන්” වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවැකි පළ කර ඇති අතර, වඩාත් සවිස්තරාත්මක න්‍යෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකි කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුමක් ඉරානය සමඟ අත්සන් කිරීමට ධවල මන්දිරය සූදානම් බවටත් ඇමරිකානු ප්‍රවෘත්ති ආයතනයක් වාර්තා කළා
ඒ යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපද යෝජනාවන් “තවමත් සලකා බලමින්” පවතින බව ඉරානය පැවසීමෙන් පසුවයි.
මේ අතර, එක්සත් ජනපදය සහ ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට ආසන්න බවට වාර්තා පළ වීමෙන් පසු තෙල් මිල පහත වැටී ඇති අතර ගෝලීය කොටස් වෙලඳපොලවල ක්‍රියාකාරීත්වය ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share