ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේ ජය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කින්ග්ස් අතර තරඟය ජයගන්නට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුනා. මෙවර තරඟාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
හයිද්‍රාබාදයේ රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු හතරක් දැවී ලකුණු 235ක් රැස්කර ගත්තා.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තේ හෙන්රික් ක්ලාසන්.
ඔහු පන්දු හතළිස් තුනකදී ලකුණු හැට නවයයි.
මේ හැරුණු විට ඉෂින් කිෂාන් පන්දු තිස් දෙකකදී ලකුණු පනස් පහක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම හඹා ගිය පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු හතක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු දෙසිය දෙකක් පමණයි.
ජයග්‍රහණය සඳහා හුදෙකලා සටනක නිරත වූ කූපර් කෝණෙලි පන්දු 59ක දී අගනා ශතකයත් රැස්කර ගත්තත් අනෙකුත් ක්‍රීඩකයින්ගේ ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම නිසා ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකියාවක් ලැබුණේ නෑ.
කූපර් කෝණෙලි ලබා ගත් ලකුනු 107ට හතරේ පහර හතක් සහ හයේ පහර අටක් අන්තර්ගත වී තිබුණා.
ඔහු හැරුණු විට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණ ලාභියා වූයේ මාකස් ස්ටෝයිනිස්.
ඔහු පන්ඳු 14කදී ලකුණු විසි අටක් රැස් කර ගත්තා.
පන්දු යැවීමේදී පැට් කමින්ග්ස් ලකුණු 34කට කඩුලු දෙකක් දවාගත් අතර ඒෂාන් මාලිංග ලකුණු 36 කට එක් කඩුල්ලක් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැනි ස්ථානයට පැමිණෙන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ මෙතෙක් එම ස්ථානයේ සිටි පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දමමින්.
පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් අවසන් තරග තුනම මේ වන විට පරාජය වී තිබෙනවා.

Share