‘Tiger Kingdom’ සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 72 දෙනෙකු හදිසියේ මියයයි

උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ‘Tiger Kingdom’ සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 72 දෙනෙකු සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ හදිසියේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තායිලන්ත ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ මූලික පරීක්ෂණවලට අනුව, මෙම මරණවලට හේතුව වී ඇත්තේ Canine Distemper Virus (CDV) නම් අතිශය බෝවන සුළු වෛරසයක්.
සාමාන්‍යයෙන් සුනඛයන් අතර පැතිරෙන මෙම වෛරසය ව්‍යාඝ්‍රයින් වැනි බළල් පවුලේ විශාල සතුන්ට වැළඳුණු විට ඔවුන්ගේ ශ්වසන, ආමාශ ආන්ත්‍රික සහ ස්නායු පද්ධතීන්ට දැඩි හානි පමුණුවමින් මාරාන්තික බලපෑම් ඇති කරන බව සඳහන්.
සතුන් රෝගී වී ඇති බව හඳුනාගන්නා විටත් රෝගය උත්සන්න වී තිබීම නිසා ඔවුන් බේරා ගැනීමට නොහැකි වූ බව බලධාරීන් පවසනවා.
මෙම ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් Tiger Kingdom උද්‍යානය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර, පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Share