T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඕමානය අතර අද පල්ලෙකැලේ දී පැවැත්වෙනවා.
මේ අතර ඊයේ පැවති කැනඩාව සමග තරගයෙන් ලකුණු 82ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.
චෙන්නායි හී චිදම්භරම් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 200ක් රැස්කර ගත්තා.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වේගවත් පිතිකරණයක නිරත වූ ඊබ්‍රහිම් සද්‍රාන් පන්දු 56ක් තුළදී නොදැවී ලකුණු 95ක් රැස් කළා.
ඔහුගේ ඉණිම හයේ පහර 5කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් වුණා.
ඔහුට අනගි සහයක් ලබා දුන් සෙඩිකුල්ලා අටල් ලකුණු 44යි.
පන්දු යැවීමේදී ජස්කරන් සිං කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය කැනඩා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 118ක් පමණයි.
පන්දු යැවීමේදී මොහොමඩ් නබී කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.
මේ අතර 2022 වර්ෂයේ සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොනතන් ට්‍රොට්ට කොන්ත්‍රාත් කාලය ද මේ සමඟ අවසන් වුණා.
ඒ, අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්ව යන්නට ජොනතන් ට්‍රොට්ට සිදු වනවා.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ සිටින තැනට ගෙන ඒමට ජොනතන් ට්‍රොට් විශාල දායකත්වයක් ලබාදුන් අතර, ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීවය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ විශාල පිබිදීමක් දැක ගත හැකි වුණා.
2022 ජූලි මාසයේ දී ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණු කරුගේ වගකීම භාරගත් ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ දායකත්වය වෙනුවෙන් ඊයේ තරගයේ දී වීරයා බවට පත් වූ ඊබ්‍රහිම් සද්‍රාන් තමන්ට හිමි වූ තරගයේ වීරයා සම්මානය ප්‍රධාන පුහුණුකරු ජොත්තන් ට්‍රොට්ට පුද කිරීමද විශේෂත්වයක්.





