අවසන් පූර්ව වටයට ගිය එංගලන්තය

T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට එංගලන්තය පත් වුණා.
පාකිස්තානය හමුවේ කඩුලු දෙකක තියුණු ජයක් ලැබූ එංගලන්තය T20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අඛණ්ඩව පස්වැනි වරටයි.
මේ අතර, සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය මුලින්ම පන්දුවට පහර දිමට තීරණය කළා.

නියමිත පන්දුවාර 20 අවසානයේ පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්තයට ඉලක්කය හඹා යෑම ලෙහෙසි වූයේ නැහැ.
එංගලන්ත මුල් පෙළ කඩුලු 4 ලකුණු 58ක් ක් තුළ බිද වැටුණා.
නමුත් නායකත්වයේ වගකීම කරට ගත් හැරී බෲක්, ඊයේ රාත්‍රියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තමන්ගේ රාජධානියක් බවට පත් කර ගත්තා.
ඔහු පන්දු 50කදී ශතකයක් වාර්තා කළේ පාකිස්තාන පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වමින්.
ඔහුගේ ශතකයට හයේ පහර හතරක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.
අවසානයේදී පන්දුවාර 19යි පන්දු එකකදී කඩුලු 8ක් දැවී තිබියදී එංගලන්තය සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Share