වාර්තා රැසක් අලුත් කරමින් T20 ලෝක කුසලානය අඛණ්ඩව දෙවැනි වරටත් ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.
කුලුදුල් ලෝක කුසලානයක පහස විඳ ගැනීමේ නවසීලන්තයේ අපේක්ෂාව තවත් වසර දෙකකින් කල් දැමූ සූර්යකුමාර් යාදව් ප්රමුඛ ඉන්දීය කණ්ඩායම අවසන් තරගයේ දී නවසීලන්තයට අත් කර දුන්නේ ලකුණු 96ක දැවැන්ත පරාජයක්.
T20 ලෝක කුසලාන ත්‍රිත්වයක් හිමිකරගත් සහ අඛණ්ඩව දෙවරක් ලෝක කුසලානය දිනා ගත් පළමු රට ඉන්දියාවයි.
කණ්ඩායම් 20ක් කාණ්ඩ 4ක් යටතේ එක් කිරුළක් වෙනුවෙන් පෙබරවාරි මස 07 වැනිදා සිට තරග 54කදී එකිනෙකා ගැටුණු මෙවර ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ඊයේ අහ්මදාබාද් නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එක්ලක්ෂ 30,000කට ආසන්න නරඹන්නන් පිරිසක් අවසන් තරගය නැරඹීමට එක්ව සිටියා.
අවසන් මහා තරගය ආරම්භයට පෙර, මෙවර තරගාවලියේ සමාප්තිය සනිටුහන් කරන විවිත්රවත් උළෙලක් සංවිධාන පැවැත්වුණේ ලතින් පොප් රජු ලෙස විරුදාවලිය ලත් රිකී මාටින්ගේ සජීව ප්‍රසංගයක් ද සමගයි.
තීරණාත්මක තරගයේ කාසියේ වාසිය උරගා බැලුනේ ඉන් අනතුරුවයි.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමේ නායක මිචෙල් සැන්ටර් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඉන් උපරිම පල නෙලාගත් ඉන්දීය පිතිකරුවන්, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 255ක අති දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ නවසීලන්ත නායකයාගේ තීරණය අභියෝගයට ලක් කරමින්.
එය T20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
මෙහිදී සංජු සැම්සන් පන්දු 46ක් තුළදී ලකුණු 89ක් රැස්කරගත්තා.
අභිශේක් ශර්මා පන්දු 21කින් ලකුණු 52ක් සහ ඉෂාන් කිෂාන් පන්දු 25කින් ලකුණු 54ක් රැස් කළා.
ලකුණු 256ක අති දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත ඉණිම සුණු විසුළු කර දමන්නට ජස්ප්‍රිත් බුම්රා ඇතුළු ඉන්දීය පන්දුයවන්නන් සමත් වුණේ පන්දුවාර 19ක් තුළදී සියලු දෙනා දවා ගනිමින්.
ඒ අනුව නවසීලන්ත ඉණිම ලකුණු 159කට සීමා වුණා.
සිය කුළුදුල් ලෝක කුසලාන සිහිනය කෙසේ හෝ සැබෑ කර ගැනීමේ අරමුණින් එක් අන්තයක තනි සටනක් දියත් කළ ටිම් සයිෆර්ට් ලකුණු 52ක් රැස්කර ගත්තා.
නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 43යි.
ඔවුන් දෙදෙනා හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 4ක් සහ අක්ෂර් පටෙල් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
තෙවැනි වරටත් t20 ලෝක ශූරයන් වීමේ ඉන්දියාවේ සතුට අහමදාබාද් පිටිය පුරා දෝරේ ගලා යද්දී ක්‍රීඩාංගනයට ඉහළ අහස මල්වෙඩි සංදර්ශනයකින් විචිත්‍රවත් වුණා.
මෙවර ලෝක ශූරයින් වූ ඉන්දීය කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3ක්.
එය ඉන්දියානු රුපියල් කෝටි 27.5කට ආසන්නයි. කුසාලනය දෝතට ගත් නායකයා සිය කණ්ඩායමේ සෙසු සගයින් සමග ජයග්‍රහණයේ සතුට මෙලෙස බෙදා ගත්තා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි t20 ලෝක ශූරතාව දිනා ගත් ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම් එක්කරමින් x සටහනක් තබමින් පැවසුවේ මෙම විශිෂ්ට ජයග්‍රහණය සුවිශේෂී කුසලතා, අධිෂ්ඨානය සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් බවයි.
මෙම ජයග්‍රහණය සෑම ඉන්දියානු හදවතක්ම ආඩම්බරයෙන් හා ප්‍රීතියෙන් පුරවා ඇතැයි අගමැතිවරයා පවසනවා.





