‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635ක්

මේ අතර ‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවයි.

මේ අතර කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා .
මෙහිදී විශේෂ අවධානයට යොමු වුණේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳවයි.
පශු සම්පත් සහ වාරි ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වාරි පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

Share