ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි. ජී. එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.
ඊට හේතුව වුණේ 2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමයි.
2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාග කළ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණා.
එම තීන්දුවට අනුව අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතා විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවත් අදාළ මුදල, තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතුයි.
එහෙත් වගඋත්තරකර ප්‍රේමතිලක මහතා විසින් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුණා
එම ඉල්ලීම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා.
අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ අදාළ වග උත්තරකරුට මාර්තු මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.





