IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක සිය කුළුඳුල් අයිපීඑල් අර්ධ ශතකය වාර්තා කර ගැනීම විශේෂ සිදුවීමක්. මේ තරගාවලියේ නිදහස් සංඛ්‍යාත රූපවාහිනී විකාශය සිදුකෙරෙන්නේ ටීවී සුප්‍රීම් ඔස්සෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ ජායිපූර් හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 225ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
රාජස්ථාන් නායක රියන් පරාග් පන්දු 50කදී වේගවත් ලකුණු 90ක් රැස් කළ අතර, ඉනිම අවසානයේ ඩොනොවන් ෆෙරේරා පන්දු 14කදී නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් රාජස්ථාන් ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 226ක අසීරු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පැතුම් නිශ්ශංක සහ KL රාහුල්.
පසුගිය තරගයෙන් තමන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ගත් තීරණයට පිත්තෙන් පිළිතුරු දුන් පැතුම්, ඊයේ තරගයේදී පන්දු 33කදී ලකුණු 62ක් රැස් කරමින් සිය මංගල IPL අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
මෙය පැතුම් IPL පිටියේ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්වුණා.
ඒ අනුව තරගය අවසන් වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
මෙය ඔවුන් IPL ඉතිහාසයේ සාර්ථකව හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් වනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, පරාජය ලැබූ රාජස්ථාන් කණ්ඩායම තවමත් 4 වන ස්ථානයේ රැඳී සිටිනවා.
IPL තරගාවලියේ තවත් තරගයක් චෙන්නායි සුපර් කින්ස්ග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද රාත්‍රි 7.30ට චෙන්නායි හිදී පැවැත්වෙනවා.

Share