මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝරිජියේවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවුනා.
මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව කළමනාකාර අධ්‍යක්ෂවරිය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝරිජියේවා මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ සාකච්ඡාව ඊයේ පැවැත්වුනේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ පිළිබඳවත් එහිදී විශේෂ අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් ද සිදුවුනා.
ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එහිදී පවසා තිබෙනවා.
එමෙන්ම ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ද ඇය ප්‍රසාදය පලකර තිබෙනවා.
අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාම මඟින් රටේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමේ හැකියාව පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවක් සිදුවුණා.
එම හමුවේදී ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සෑම ධනාත්මක වැඩසටහනකදීම එක්සත් රාජධානියේ පූර්ණ සහාය ලබා දෙන බව සහතික කර තිබෙනවා.
හමුවෙන් අනතුරුව එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.





