IMF කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ලබන 22 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස බලාපොරොත්තු වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළ වෙබ් අඩවියට නිකුත් කළ පැපජෝර්ජියෝ මහතාගේ හඬ පටයේ සදහන් වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියේ ප්‍රමාණය සහ විෂය පථය පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමක් මේ මස 22 පැමිනෙන බවයි.
එම පිරිස ජනවාරි 28 දක්වා ශ්‍රී ලංකාවේ රුදි සිට මෙහෙයුමේ සොයාගැනීම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවත් එහි සඳහන්.
සුළි කුණාටුව නිසා ඇති වූ ආර්ථික හා මානුෂීය අභියෝග සමඟ කටයුතු කරන විට ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු ආකාරයද ඔවුන් සොයා බලන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසා ඇත්තේ.
එමෙන්ම මෙම සංචාරය අතරතුර, යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි සිදුව ඇති හානි ගැන අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම මෙරට රාජ්‍ය නිලධාරීන් සහ අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්චා කිරීමටත් නියමිතයි.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන කටයුතු සඳහා වඩා හොඳම සහාය ලබා දිය හැකි ආකාරය ගැන එම කණ්ඩායම ගවේෂණය කරන බවත් එම හඬ පටයේ දැක්වෙනවා.
ඒ හරහා විස්තීර්ණ අරමුදල් පහසුකම සහාය දක්වන වැඩසටහන නැවත ආරම්භ කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දීමද මෙම සංචාරයේ අරමුණක්.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන ශ්‍රී ලංකාවේ වැඩසටහන යටතේ විදුලි මිල නියම කිරීමේ අරමුණු සඳහා ක්ෂණික වෙනසක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සදහන් කරනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ විදුලි ගාස්තු වල පිරිවැය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා මෙම වැඩසටහනට දැඩි කැපවීමක් ඇතුළත් බවයි.

මෙම පියවර ශ්‍රී ලංකාවේ මූල්‍ය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් බවත් එය රාජ්‍ය උපයෝගිතා සමාගම් මූල්‍ය පාඩු ලැබීම වැළැක්වීමට උපකාරී වන බවද පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියා.
ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අවශ්‍ය ඕනෑම අනාගත ගැලපීමක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අඛණ්ඩ සාකච්ඡා කෙරෙන බව ද ඇය කියා සිටියා.
ඇය තවදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්කේ කාර්ය මණ්ඩල ඉලක්කය වන්නේ ව්‍යසනකාරී සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වන විට එයට සහාය වීම සහ ශ්‍රී ලංකාවට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාර කිරීම බවයි.
ඊට අදාළ ඕනෑම ආකාරයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩලයයේ සහාය ලබා දීමට බලාපොරෝත්තු වන බවද, ඇය වැඩිදුරටත් පැවසුවා.

Share