ICC වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය තවත් දින තුනකින් ආරම්භ වේ

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන ICC වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය තවත් දින තුනකින් ආරම්භ වනවා.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ සියලු තරග සමීප කරන්නේ ටීවී සුප්‍රිම් විසිනුයි.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ඉන්දියාව සමග කාණ්ඩ ගත වූ බී කාණ්ඩයේ කණ්ඩායම් ගැනයි අද අපි විමසා බලන්නේ.

B කාණ්ඩයේ, ICC U19 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඉන්දියාව, 2020 ශූර බංග්ලාදේශය, 1998 දී අනුශුරයන් වූ නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය තරඟ වදිනවා.

ඉන්දියාව

ශූරතා පහක් ඇතිව, ඉන්දියාව මෙම තරගාවලිය තුළ වඩාත් සාර්ථකම කණ්ඩායම බවට පත්ව ඇත්තේ අවසන් තරගාවලි පහේදීම අවසන් තරගයට ද සුදුසුකම් ලබමින්.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම උද්යෝගිමත් තරුණ දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් වන 14 හැවිරිදි වෛභව් සූර්යවංශි සමග ICC අවුරුදු 19න් පහළ ලෝක කුසලානය හයවැනි වරටත් දෝතට ගැනීම ඉන්දියාවේ අරමුණයි.

මෑතකදී, ඉන්දියාව වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි නමුත් අවසන් මහා තරගයේදී පාකිස්තානය විසින් පරාජය කරනු ලැබුවා.

බංග්ලාදේශය

බංග්ලාදේශය 2020 දී අයිසීසී අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනා ගත්තා

එම කණ්ඩායම නියෝජනය කළ මහමුදුල් හසන් ජෝයි, ෂොරිෆුල් ඉස්ලාම් සහ තව්හිඩ් හ්‍රිඩෝයි දැන් ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්ව සිටිනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමට බංගලිදේශ යොවුන් ක්‍රීඩකයින් සමත් වුණා.

නවසීලන්තය

වසර 28කට පෙර අනුශූරයන් වූ නවසීලන්තය, 2020 වසරේ සිට තෙවරක් අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලියේදී ඔවුන් B කාණ්ඩයේ ප්‍රතිවාදීන් වන බංග්ලාදේශය හමුවේ පරාජය වූ අතර, තවත් B කාණ්ඩයේ ප්‍රතිවාදියෙකු වන ඉන්දියාව අනෙක් අවස්ථා දෙකේදී නවසීලන්තයේ ලෝක කුසලාන ගමන නැවැත්වුවා.

නවසීලන්තයේ හිටපු පිතිකරු ඇන්ටන් ඩෙව්සිච් පුහුණුකරු ලෙස කටයුතු කරන අත්දැකීම් සහිත සංචිතයක් මෙවර තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකා එක්සත් ජනපදය ICC U19 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සිව්වැනි වරට සුදුසුකම් ලැබුවේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින්.

ඔවුන් ක්‍රීඩා කළ තරඟ හයම පහසු පරතරයකින් ජයග්‍රහණය කළ අතර, කැපී පෙනෙන තනි දක්ෂතා රාශියක් පෙන්නුම් කළා.

ඉන්දියාවට එරෙහිව ආරම්භක දිනයේ දීම ඔවුන් තරගාවලිය ආරම්භ කරනු ඇති.

ජනවාරි 17, බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාව දෙවැනි තරගය ක්‍රීඩා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදය 18 වැනිදා දෙවැනි තරගයට සහභාගි වන්නේ නවසීලන්තය සමගයි.

බී කාණ්ඩයේ මූලික වටයේ තරග සියල්ල සිම්බාබ්වේ හිදී පැවැත්වෙනවා.

Share