ක්‍රිකට් ලෝකයේ ඊළඟ පරම්පරාවේ ශූරයන් අභිෂේක ගන්වන ICC වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වනවා.
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ සියලු තරග සමීප කරන ටීවී සුප්‍රිම් මේ සූදානම් තරගාවලියට පෙරගමන් කියන්නයි.
සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් මෙවර පැවැත්වෙන තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 16ක් තරග වදිනවා.
වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව මෙන්ම 2000 වසරේ දී අනුශූරයන් වූ ශ්‍රී ලංකාවත් අයත් A කාණ්ඩය ගැනයි අද අපි විමසා බලන්නේ. වත්මන් ශූර ඕස්ට්‍රේලියාව ICC අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩයේ ඉහළින්ම සිටින්නේ කුළුඳුල් කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන කණ්ඩායම් තුනක් සමඟින්.
ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාවේ පැවති 2024 තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ සිව්වැනි වරටත් ලෝක ශූරයන් ලෙස කිරුළු පළඳිමින්.
තරඟාවලියේ පළමු තරගාවලියේ මෙන්ම අවසන් වරට පැවති තරගාවලියේ ද ජයග්‍රාහකයින් වූ ඕස්ට්‍රේලියාව ICC U19 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන වඩාත්ම සාර්ථක කණ්ඩායමයි.
ඔවුන් 2016 තරඟාවලිය හැර අනෙකුත් සියලුම තරඟාවලිවලට ක්‍රීඩා කර ඇති අතර හය වතාවක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.
වසර දෙකකට පෙර ජයග්‍රාහී සංචිතයේ සිටි ඔලිවර් පීක් මෙවර කණ්ඩායමේ නායකයායි.
අයර්ලන්තය
අයර්ලන්තය 12 වැනි වරටත් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන්නවා.
අවසන් තරගාවලියේ ඔවුන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනීමට සමත් වුණා.
එම තරගාවලියට ක්‍රීඩා කළ ඔලිවර් රයිලි මෙවර කණ්ඩායමේ නායකයා වන අතර 15 හැවිරිදි ක්‍රීඩකයෙක් ලෙස 2022 දී පළමුවරට යොවුන් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළ රූබන් විල්සන් උපනායකයායි.
ජපානය
ජපානය ICC අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන්නේ දෙවන වරට වන අතර, ඔවුන් පළමුවරට තරගාවලියක් නියෝජනය කළේ 2020 වසරේ දී.
එවර ජපානය මූලික වටයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හමුවේ දරුණු පරාජයන් ලැබුවා.
කසුමෝ කාටෝ-ස්ටැෆර්ඩ් කණ්ඩායමේ නායකයායි.
සහෝදරයන් තිදෙනෙක් මෙවර කණ්ඩායම නියෝජනය කරන අතර චාල්ස්, ගේබ්‍රියෙල් සහ මොන්ට්ගොමරි හාරා-හින්ස් එම තිදෙනා වනවා.
ශ්‍රී ලංකාව
අඛණ්ඩවම ICC අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාව කිසි විටෙකත් 10 වැනි ස්ථානයට වඩා පහළින් තරගාවලියක් අවසන් කර නැහැ.
ඉහළම දක්ෂතාව වන්නේ 2000 වසරේ දී ඉන්දියාව හමුවේ අනුශූරයන් වීමයි.
එතැන් සිට, ශ්‍රී ලංකාව තවත් අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයට පැමිණ ඇති අතර, අවසන් වරට පැවති තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.
විමත් දින්සර කණ්ඩායමේ නායකයා වන අතර පසුගිය තරගාවලිය නියෝජනය කළ කිසිදු ක්‍රීඩකයෙක් මෙවර තරගාවලියට නම් කළ සංචිතයට ඇතුළත් වී නැහැ.
මෑතකදී ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවුරුදු 19 පහළ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ එම තරගය ඉන්දියාව හමුවේ පරාජය වුණා.
මෙවර ICC අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ පළමු තරගය ලබන 16 වැනිදා ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු තරගය ලබන 17 වැනිදා ජපානය සමගත් දෙවැනි තරගය ජනවාරි 19 වැනිදා අයර්ලන්තය සමගත් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ජනවාරි 23 වැනිදා පැවැත්වෙනවා.
Fixtures
16 January – Australia v Ireland
17 January – Japan v Sri Lanka
19 January – Ireland v Sri Lanka
20 January – Australia v Japan
22 January – Ireland v Japan
23 January – Australia v Sri Lanka





