GMOA දීප ව්‍යාප්ත වැඩ වැඩවර්ජනය හෙට පෙරවරුවෙන් පසු ඉදිරියටත් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය විධායක සභාවට

දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩ වැඩවර්ජනය හෙට පෙරවරුවෙන් පසු ඉදිරියටත් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය විධායක සභාවට පැවරූ බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතාදස මහතා සඳහන් කළේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි තම සංගමය ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බවයි.

ස්ථානමාරුවීම් ගැටලුවක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අඟහරුවාදා මුල් වරට වර්ජනයක නිරත වුණා.
ඊට සාධනීය විසඳුමක් නොලැබුණු බව පවසමින් පසුගිය බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා වර්ජනයේ නිරත වූ වෛද්‍යවරු අද වර්ජනය කළේ සිව්වැනි දිනටයි.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම රජයේ රෝහලවල හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් හැර සෙසු ප්‍රතිකාර ඇණහිට තිබෙනවා.
මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
මෙම වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වූයේ රෝගී ජනතාවයි.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස් වුණා.
එහිදී තීරණය වී ඇත්තේ හෙට පෙරවරු 8න් අවසන් වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය ගැනීමේ බලය විධායක සභාවට පැවරීමටයි.

කෙසේවෙතත් මෙම ගැටලුවට මුල් වූ පශ්චාත් සීමාවාසික පත්වීම සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දහවල් 12ට අවසන් වුණා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සීමාවාසික වෛද්‍ය පුහුනුව අවසන් කළ 96%ක්ම අයැදුම් කර ඇති බවයි.
මෙවර 453 දෙනෙකු සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කර ඇති අතර ඉන් 435 දෙනෙකුම ඒ සඳහා අයැදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙතරම් ඉහළ ප්‍රතිශතයක් පශ්චාත් සීමාවාසික පත්වීම සඳහා අයැදුම් කර ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්‍ගේ තර්ජන හේතුව බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

Share