අමෙරිකාව ඉරානයේ ලොකුම පාළමත් බිඳ දමයි

ඉරානයේ උසම පාලම වූ B1 පාලම විනාශ කිරීමෙන් පසු, තම මීළඟ ඉලක්ක වන්නේ එරට පාලම්, විදුලි බලාගාර සහ සිවිල් යටිතල පහසුකම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ යළිත් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
මේ අතර මෙවැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරාන ජනතාව යටත් කරගත නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කරනවා.

ඉරානය “ගල් යුගයට” ඇද දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, ඉරානයේ පිහිටි උසම පාලම වන B1 පාලමට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.
ටෙහෙරාන් අගනුවරට කිලෝමීටර් 35ක් පමණ නිරිත දෙසින් පිහිටි කරාජ් ප්‍රදේශයේ ඉදිකර තිබූ මෙම පාලමට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් 95 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
පාලම විනාශ වී දුම් රොටු නගින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වහාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් මෙවැනි තවත් විනාශයන් සිදුවනු ඇති බවයි.
“ඉරානයේ විශාලතම පාලම බිම වැටී අවසන්, එය නැවත කිසිදා භාවිතයට ගත නොහැකියි. ඉරානයට ගනුදෙනුවක් කිරීමට තවමත් කාලය තිබේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කලේ ඉරානයේ උසම පාලම වූ B1 පාලම විනාශ කිරීමෙන් පසු, ඔහුගේ මීළඟ ඉලක්ක වන්නේ එරට පාලම් සහ විදුලි බලාගාර බවයි.
“ඇමරිකානු හමුදාව ඉරානය තුළ ඉතිරිව ඇති දේ විනාශ කිරීම තවම ආරම්භ කළා පමණයි.

මීළඟට පාලම්, ඉන්පසු විදුලි බලාගාර,” යනුවෙන් ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ, මෙවැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරාන ජනතාව යටත් කරගත නොහැකි බවයි.

සති පහක් පුරා ඇදී යන මෙම යුදමය වාතාවරණය හමුවේ දෙපාර්ශවයම දැඩි ස්ථාවරයක පසුවීම මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වී තිබෙනවා.

ඉරානය “ගල් යුගයට ඇද දැමීමට ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව “ඉතා දරුණු සහ වඩාත් විනාශකාරී” ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කළා.

ඇමරිකාව සහ ඊශ්‍රායලය “සදාකාලික පසුතැවිල්ලට සහ යටත් වීමට” මුහුණ දෙන තෙක් ඉරානය සිය සටන අත්නොහරින බව ඉරාන ඛාටම් අල්-අන්බියා Khatam al-Anbiya මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆකාරි ප්‍රකාශ කළා.

මේ අතර ඇමරිකානු නීති විශාරදයින් පිරිසක් විවෘත ලිපියක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මෙවැනි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම 1949 ජිනීවා සම්මුතියට අනුව “යුද අපරාධයක්” විය හැකි බවයි.

ජාත්‍යන්තර මානුෂීය නීතිවලට අනුව යුදමය අවස්ථාවකදී සිවිල් ඉලක්ක සහ හමුදාමය ඉලක්ක පැහැදිලිව වෙන් කර හඳුනාගත යුතු බවද එහි සදහන්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Board of Peace” විසින් ඉදිරිපත් කරන ලද නිරායුධකරණ සැලසුම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බවට ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍ය බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
කයිරෝ නුවරදී ඊජිප්තු, කටාර් සහ තුර්කි මැදිහත්කරුවන් සමඟ පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවලදීයි ඔවුන් මෙම ස්ථාවරය දැනුම් දී ඇත්තේ.
වසර දෙකක දරුණු යුද්ධයකින් පසු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇති කරගත් සටන් විරාමය ස්ථාවර කරගැනීම සඳහා මෙම නිරායුධකරණ සැලසුම තීරණාත්මක වෙනවා.

කෙසේ වෙතත්, හමාස් සංවිධානය අවධාරණය කරන්නේ ඊශ්‍රායලය විසින් සිදුකරන සටන් විරාම උල්ලංඝනය කිරීම් වහාම නතර කළ යුතු බවත්, ගාසා තීරයෙන් ඔවුන්ගේ සියලු සේනාංක ඉවත් කරගත යුතු බවත්ය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වාණිජ නාවික ප්‍රවාහනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට අවසර ඉල්ලා බහරේනය ඉදිරිපත් කළ යෝජනාවකට චීනය සිය විරෝධය පළ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ස්ථාවර සාමාජිකයෙකු වන චීනය පවසා ඇත්තේ, බලය භාවිතා කිරීමට අවසර දීමෙන් පවතින යුදමය තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.

බහරේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ යුද්ධය ආරම්භ කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේ සටන තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා.
ඉරානය වසර ගණනාවක සිට රැස් කළ මුහුදු බෝම්බ, මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිතා කරමින් මෙම මුහුදු මාර්ගයේ ගමනාගමනය අඩාල කර ඇති අතර එමඟින් ගෝලීය ආර්ථිකයට එල්ල වී අත්තේ දැඩි බලපෑමක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ තීරයේ සිට බලන විට පර්සියානු ගල්ෆ් කලාපය තුළ කොටු වී ඇති සිය ගණනක් තෙල් නැව් සහ කන්ටේනර් නෞකා දැකගත හැකියි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපතිනි පැම් බොන්ඩි වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
මෙම හදිසි තීරණය පිළිබඳව ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා තහවුරු කර ඇති අතර, එහිදී ඔහු ඇයව “ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමියෙකු” ලෙස හඳුන්වමින් ඇය කළ සේවය අගය කර තිබෙනවා.

නීතිපති ධුරයේ වැඩබලන නිලධාරියා ලෙස නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් පත් කර ඇති අතර, ඔහු ඉතා දක්ෂ නීතිඥයෙකු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 35ක් ගතවී ඇති අතර දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත් දැඩිවෙමින් පවතිනවා.

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනෙකු ඉවත් කිරීමේ සූදානමට අනුව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්ට තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග කර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.
වසරකට වැඩි සේවා කාලයක් ඉතිරිව තිබූ ජෝර්ජ්, “වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ගනු ඇති” බව පෙන්ටගනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජෝර්ජ් දශක ගණනාවක් පුරා කළ සේවය අගය කරන බවත්, ඔහුට සුභ පතන බවත්, පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදු කරමින් මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා ශක්තිමත් කරමින් සිටින මොහොතක, ජෝර්ජ්ට ඉවත් වීමට පැවසීම සම්බන්ධයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිශ්චිත හේතුවක් දක්වා නැහැ.
ඊට අමතරව තරු හතරේ ජෙනරාල්වරුන් වන ඩේවිඩ් හොඩ්නි සහ විලියම් ග්‍රීන් යන නිලධාරීන්ද ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share