ජනපතිගෙන් සුභ පැතුම්

තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවයි.

මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, පුලුල් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයකට උර දී සිටින්න බව සිහිපත් කරන ජනාධිපතිවරයා ‍එම වැඩපිළිවෙළ සමග ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටිනවා.

මේ අතර ජනාධිපතිවරයා අද පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රිඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වීමට නියමිතයි.

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුව බව සිය තෛපොංගල් දින පණිවුඩයෙන් සිහිපත් කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතු බව අවධාරණය කරනවා.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු යැයි අග්‍රාමාත්‍යවරිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවකි.

මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අපි එක්ව උර දී සිටින්නෙමු. ‍

එකී වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී මම සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටිමි.

ජනාධිපති අනුර කුමාර දිසානායක

අගමැති

රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පවසන්නේ බහු ජාතික, බහු ආගමික සහ බහු භාෂාමය සමාජයක පැවැත්ම තහවුරු වන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට සියලු දෙනා ම දක්වන කැපවීම මත බවයි.

ඒ තුළ එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බව විපක්ෂ නායකවරයා පවසනවා.

Share