2026 වසර තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, මෙම තීරනය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද දින නිකුත් කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් පවසනවා.
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබුණා.
ඒ අනුවයි පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2,00 දක්වා දීර්ඝ කිරීමට තීීරණය කෙරුණේ.
කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම තීරණයට අධ්‍යාපන වෘත්තිකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
මෙම වේලාව වෙනස් කිරීම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය පිළිබඳ ප්‍රායෝගික තත්ත්වයන් සහ දරුවන් සම්බන්ධ මනෝ විද්‍යාත්මක විමසීම් සැලකිල්ලට නොගෙන ගත් තීරණයක් බව අවස්ථා ගණනාවකදී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වකරුවන් පෙන්වා දුන්නා.
මේ අතර පසුගිය දා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අනතරු ඇඟවූයේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ආපසු නොහරවන්නේ නම්, නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවටයි
මෙවන් පසුබිමක 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස තවදුරටත් නොවෙනස්ව පවතින බවයි
එසේම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7ක් වශයෙන් එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරෙන බව සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මකය කෙරෙන බවයි.
එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිත බවත් 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදා බවත් අදාළ නිවේදනයේ සඳහන්
එසේම 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා තිබෙන බවත් අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් ද මේ වනවිට බෙදා අවසන් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීමේ තීරණය ආපසු හැරවීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
මේ අතර 6 වන ශ්‍රේණිය සඳහා සකස් කරන ලද මතභේදාත්මක ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලය සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ නිම වන තෙක්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඇය විසින් මෙම පියවර ගත් බවයි වාර්තා වෙන්නේ.
මේ අතර අදාළ 6 වසර ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ මතභේදාත්මක ගැටලුව සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ගුරු විදුහල්පති එකමුතුව අද ජාතික ළමා ආරක්ෂන අධිකාරියට පැමිණ තිබුණා .
අදාළ මොඩියුලය සඳහා වගකිවයුතු පිරිස් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ පනත යටතේ කටයුතු කළ යුතු බවයි අදාළ වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ.





