අලි – මිනිස් ගැටුම මෙරට ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව අද වන විට බහුලවම පවතින අභියෝගයක්.
ඒ හේතුවෙන් සිදුවන මිනිස් සහ වනඅලි ජීවිත හානි පිළිබඳ අප වාර්තා කර ඇත්තේද වරක් දෙවරක් නොවේ.
නිසි විද්‍යාත්මක විසඳුමක් තවමත් නොලැබුණු මේ ගැටලුවෙන් දිගු කලක් තිස්සේ පීඩා විඳින එප්පාවලින් අද වාර්තා වුණේ ගමට පැමිණි වනඅලියෙකු කළ පහරදීමකින් පුද්ගල මරණ තුනක් සිදුව ඇති බවයි.
ගොවිතැන, සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ගම්වාසීන්ට අද වන විට සිය ජීවිත පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවක්.
දැඩි වියළි කාලගුණය හමුවේ ජලය සහ ආහාර සොයා නිරන්තරයෙන් ගම්වදින වනඅලි ඊට හේතුවයි.
සිය අස්වනු මෙන්ම නිවාස දේපොළ හානි කරනවාට අමතරව ජීවිත සම්බන්ධයෙන් ඇති අවදානම පිළිබඳ අදාළ බලධාරීන් දැනුම්වත් කළ නිසි විසඳුමක් නොලැබුණු බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
අද උදෑසන එප්පාවල හුරිගස්වැව, තැපැල් කාර්යාලය අසළින් වනඅලියෙකු පැමිණෙන බව දුටු ඒ අසළ නිවෙස් හිමියෙකු උත්සාහ කර තිබුණේ සිය දියණිය ඒ පිළිබඳ දැනුවත් කිරීමට වුවත් ඊට පෙර වන අලියා ඔහුට පහර දී තිබුණා.
බරපතළ තුවාල ලැබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කළ 51 හැවිරිදි වියේ පසුවූ රංග ධර්මචන්ද්‍ර කුමාර දිසානායක, තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුව එම වනඅලියාම කළ පහර දීමකින් හුරිගස්වැව ප්‍රදේශයට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි කැලේ අමුණුකොලය ප්‍රදේශයේ කුඹුරක නියර සකසමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මිය ගියේ මංගල ප්‍රසාද් නම් 48 හැවිරිදි පුද්ගලයෙක්.
ප්‍රදේශවාසීන්ගේ කලකෝලාහය හේතුවෙන් කුපිතව මාර්ගයේ ඔබමොබ සැරිසැරූ වනඅලියා යතුරු පැදියක යමින් සිටි පුද්ගලයෙකුටද පහර දී තිබෙනවා.
සිය වගාබිම් අස්වැද්දීම සඳහා යමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්වූයේ එම ප්‍රදේශයේම පදිංචි, නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර තාක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කළ උදය චන්දන නමැති 36 පුද්ගලයෙක්.
ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
අලි – මිනිස් ගැටුම්වලට තාවකාලික විසඳුම් සෙවීම අපහසු විය හැකියි.
එය දිගුකාලීන සැලසුමක් සහිතව අත්හදා බැලීම් රාශියක එකතුවක් විය හැකි බැවින් යම් කාලයක් ගතවනු ඇති.
එහෙත් දිනෙන් දින වර්ධනය වන ගැටුම පාලනය කිරීමට අදාළ පාර්ශවයන් සතු වගකීමක කිසිසේත් අත්හළ නොහැකියි.





