හදිසි ආපදාව නිසා අපනයනකරුවන්ට සිදු වූ හානිය තක්සේරු කර මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට රජයේ උපරීම සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
27 වන ජනාධිපති අපනයන සම්මාන උත්සවය අමතමින් ඇය වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකික විශේෂඥතාව සහ නිර්මාණශීලිත්වය ලෝකයට ගෙන යාමට අපනයනකරුවන්ට අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්ව සංවිධානය කළ 27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍යතු ආචාර්ය හරිනිඅමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
අපනයන ක්ෂේත්‍රයේ ඉහළ කාර්යය සාධනයක් පෙන්නුම් කළ ආයතන සඳහා වසරේ විශිෂ්ඨතම ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම අපනයන අංශයේ කර්මාන්ත කිහිපයක් වෙතත් යොමුවුනා.
එලෙස ආපදාවට පත් කලාපවල නිෂ්පාදන ස්ථාන, ගබඩා පහසුකම් සහ ප්‍රවාහන මාර්ග ද හානි සිදුව තිබෙනවා.
නිෂ්පාදන දාමයන් සහ බෙදාහැරීමේ කාලසටහන් වලට බාධා ඇති වුණා. මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ ජාත්‍යන්තරව අපනයන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන විට සමහර අපනයනකරුවන් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබෙනවා.
හදිසි ආපදාව නිසා අපනයනකරුවන්ට සිදු වූ හානිය තක්සේරු කිරීමටත්, මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමටත් යළි නැගීසිටීමටත් රජය සහය ලබා දෙන්න කටයුතු කරනවා.
ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ යළි එවැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම වන පරිදි හානියටපත් ප්‍රදේශ නැවත ගොඩනැගීම වෙනුවෙන් රජය කටයුතු කරනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ නව පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති අස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල නොගැලපීම සහ පරිපාලන අකාර්යක්ෂමතාවන් නිසා රට ආපස්සට ගියා.
මේ නිසා ආයෝජකයින්ගේ විශ්වාසය දුර්වල වුණා වගේම ව්‍යාපාරවලට ඉදිරි සැලසුම් සකස් කිරීම දුෂ්කර වුණා.
නමුත් වත්මන් රජය ස්ථාවරත්වය, විනිවිදභාවය සහ වගකිවයුතු පාලනය මත කටයුතු කරනවා.
මෙය කෙටි කාලීන ප්‍රවේශයක් නොවේ. එය රට අවිනිශ්චිත තත්ත්වයට නැවත නොවැටෙන දිගුකාලීන ක්‍රියාවලියක්
ජාතික වියදම් පවත්වා ගැනීම සඳහා අපි බොහෝ කාලයක් ජාත්‍යන්තර ණය මත දැඩි විශ්වාසය තැබුවා. නමුත් ස්ථිර අනාගතයකට ඒ ක්‍රමවේදය වැරදි මාර්ගයක්. අපගේ ප්‍රගතිය රඳා පවතින්නේ වෙළඳාම, නවෝත්පාදනය සහ ගෝලීය මැදිහත්වීම තුළින් අපට උපයා ගැනීමට ඇති හැකියාව මත යි.
ශ්‍රී ලාංකික විශේෂඥතාව සහ නිර්මාණශීලිත්වය ලෝකයට ගෙන යාමට ඔබට ඇති හැකියාව මුළු ජාතියටම ශක්තියක්. ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන්න රජය සූදානම්.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකරන්, සුනිල් කුමාර ගමගේ, විදෙස් තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.





