ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි ජනප්‍රිය බොන්ඩි වෙරළ තීරයේ අද පැවති යුදෙව් ආගමික උත්සවයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ අතර තුවක්කුකරුවෙක් ද සිටින බව සඳහන්.
තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාර 50කට වඩා එල්ල කර තිබුණා.
මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු පොලිසිය පැවසුවා.
යුදෙව් ජනතාව ගේ ආගමික උත්සවයක් වන හනුක්කා සැමරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි ජනප්‍රිය බොන්ඩි වෙරළේ අද සිට පුරා දින අටක වැඩසටහනක් සංවිධාන කර තිබූ අතර ඊට දහසක පමණ පිරිසක් එක්ව සිටි බව සඳහන්.
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පස්වරු 6.42ට මෙම වෙඩි තැබීම ආරම්භ වූ බව සිද්ධිය වූ අවස්ථාවේ පටිගත කළ දර්ශන මගින් abc news තහවුරු කර ගෙන තිබෙනවා.
පොලිසියට පළමු ඇමතුම ලැබී ඇත්තේ පස්වරු 6.45ටයි.
කළු හැඳගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් අසල පාලමක් මත සිට වෙඩි තබන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක දැක්වුණා.
සිද්ධිය දුටුවන් පැවසුවේ වෙඩි ප්‍රහාර 50ක් පමණ එල්ල වූ බවයි
සිවිල් පුද්ගලයෙක් එක් වෙඩික්කරුවෙක් මැඩ පවත්වා ඔහුගේ ගිනි අවිය උදුරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
වෙඩි තැබීමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති අතර එක් වෙඩික්කරුවෙකු ද ඒ අතර සිටින බව නිව් සවුත් වේල්ස් පොලීසිය පැවසුවා.
පොලිසිය පැවසුවේ අනෙක් වෙඩික්කරු ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ 29 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
ඒ අතර පොලිස් නිලධාරීන් ද දෙදෙනක් වනවා.
මිය ගිය වෙඩික්කරුට අයත් මෝටර් රථයේ තිබී වැඩිදියුණු කළ පුපුරණද්‍රව්‍ය හමු වූ බව ද නිව් සවුත්වේල්ස් පොලිස් ප්‍රධානියා පැවසුවා.
වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු ‘නවීඩ් අක්‍රම්’ බවට හඳුනාගෙන ඇතැයි ‘ඒබීසී නිවුස්’ වාර්තා කරනවා.
පොලිසිය වෙඩික්කරුගේ නිවස පිහිටි සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේ වීදියක් වටලා ඇතැයි ද එහි සඳහන්.
එම නිවස වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 50ට වඩා දුරින් පිහිටා ඇති අතර අක්‍රම් පාකිස්ථාන ජාතිකයෙක් බවත් පුවත් වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර බොන්ඩි හි මෙම සිද්ධියෙන් තමන් දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ද ජීවිත අහිමි වූවන්ට ශෝකය සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙය යුදෙව්වන්ට එරෙහි කුරිරු ප්‍රහාරයක් බවයි.
තස්මේනියාවේ දී පුද්ගලයින් 35 දෙනෙකු ඝාතනය කෙරුණු 1996 වෙඩි තැබීමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ බරපතළම වෙඩි තැබීමේ සිද්ධිය මෙය වනවා.





