162 වන පොලිස් විරු සැමරුම

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනට යෙදී ඇති162 වන පොලිස් විරු සැමරුම ඉතා සරලව එහෙත් ගාම්භීරව පැවැත්වීමට තීරණය කළ බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
එසේම බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවති උත්සවයට පොලිස්පතිවරයා පැමිණීමේදී පරිවාර ආරක්ෂක යතුරුපැදි 03 ක් පමණක් යොදාගෙන තිබීමත් විශේෂත්වයක්.

1864 මාර්තු 21 වන දින උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී, ඔහුගේ සහචරයෙකු වූ මම්මලේ මරික්කාර් තැබූ වෙඩි පහරින් එවකට පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් කටයුතු කළ සභාන් නම් වූ නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු සැලකෙන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ ප්‍රථම නිලධාරියා ලෙසටයි.
එතැන් සිට පොලිස් මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත් වූ පොලිස් විරුවන් සිහි කරමින් ජාතික පොලිස් දින සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමේ වටපිටාවක් සැකසීම සඳහා වික්‍රමාන්විතව මේ දක්වා ජීවිත පරිත්‍යාග කළ පොලිස් විරුවන් සංඛ්‍යාව 5789ක්වන අතර ආබාධිත තත්ත්වයට පත් වූ නිලධරයන් සංඛ්‍යාව 1633ක්.
ඒ අනුව අද දින අභිමානයෙන් යුතුව සමරණු ලැබුවේ 162 වැනි ජාතික පොලිස් දින සැමරුමයි.
අද උදෑසන බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊට අදාළ සැමරුම පැවැත්වුණේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සැමරුම් උත්සවයට පැමිණි පොලිස්පතිවරයා වෙනුවෙන් වෙනදා ගමන් ගන්නා ආරක්ෂක පරිවාර රථ සංඛ්‍යාව යතුරු පැදි 03 ට පමණක් සීමා කර තිබුණා.

Share