12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සීමා

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මීට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

දරුවන් ජංගම දුරකතන භාවිතය, සීමා රහිත අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් උද්ගත වූ සමාජයීය ගැටලු ගනණාවක් ගැන පසුගිය සමයේ දැඩි කතාබහට ලක් වුණා. ඒ තුළින් සමාජය තුළ සිදු වූ සදාචාර විරෝධී ක්‍රියාවන්ගේ ද සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පාසැල් දැරියන් අපයෝජනයට ලක් වීම, සිසුන් සහ ගුරුවරුන් අතර පැවති අනිසි සබඳතා පිළිබඳවද පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් කතාබහට ල්කවණා සේම එය ආන්දෝලනයකට තුඩුදුන්නේ සමාජ මාධ්‍ය හරහා පාලනයකින් තොරව හුවමාරු වීමේ තීව්‍රතාව හමුවේයි.

මෙවන් පසුබිමක් තුළ වයස අවුරුදු 12ට අඩු ළමුන්ගේ දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යෝජනාවක්ද මේ වන විට ඉදිරිපත්ව ඇති බැවින් මීට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ. ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද පසුගියදා කැබිනට් අනුමැතිය ද ලැබී තිබෙනවා.

මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමුන් හා සම්බන්ධව ලැබී ඇති පැමිණිලි ගණන 10,455ක්. ඒ අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545කුත්, බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231කුත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබෙනවා. 2025 වර්ෂයේදී පමණක් යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර, ගබ්සා කිරීම් 03ක් ද සිදුව ඇති බවත් සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බවයි ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ.

මේ අතර ටී.වී සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී ඇති අතර, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටද දරුවන් සම්බන්ධයෙන් සෘජුවම පැමිණිලි 37කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

Share