10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පන්ති කාමරයක් තුළදී පහරදීමේ සිද්ධියට සිසුන් දෙදෙනෙක් සහ ආදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

මීට සති තුනකට පමණ පෙර හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පන්ති කාමරයක් තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙක් සහ ආදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් ලබාදුන් උපදෙස් මත, පහර කෑමට ලක්වූ සිසුවා ඊයේ දිනයේදී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත්ව ඇති අතර තවදුරටත් නේවාසිකව සිටිනවා.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී පිරිසක් තවත් සිසුවෙක්ට පහර දෙන දර්ශන පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
ඒ අනුව පහර කෑමට ලක් වූ සිසුවාගේ මව හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් අතර සති තුනකට පමණ පෙර මෙම ගැටුම සිදුව ඇති අතර ඊට පාසලේ ආදි ශිෂ්‍යයෙක් ද සම්බන්ධ වී ඇතැයි පොලිසිය අනාවරණ කර ගත්තා.
ඒ අනුව සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට පාසලේ ඉගෙනු ලබන සිසුන් දෙදෙනෙක් සහ එම විදුහලේ ආදි ශිෂ්‍යයෙක් හැටන් පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අදාළ පහරදීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කිරීම සඳහා, පොලිසිය විසින් ලබාදුන් උපදෙස් මත, පහර කෑමට ලක්වූ සිසුවා ඊයේ දික්ඔය මූලික රෝහලට ඇතුලත් කළ බව පැවසුවා.
ඔහු තවදුරටත් එහි නේවාසිකව සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කරන්දෙනිය – බොරකන්ද ප්‍රදේශයේ කාන්තාවක් සහ දියණියන් දෙදෙනෙකු සිටින නිවසකට පැමිණි පිරිසක් විසින් නිවසේ සිටි කාන්තාවට පහර දෙන අයුරු නිවසේ සවිකර තිබූ සීසී ටී වී කැමරාවක සටහන්ව තිබුණා
කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වනවා.
පහර කෑමට ලක් වූ කාන්තාව මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ඇය චෝදනා කරනවා.

Share