හෝමූස් තරණයට මුදල් අය කෙරේ

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒ්කාබද්ධව ඇරඹූ යුද්ධය පස්වෙනි සතියට එළඹෙත්දී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කර ඇති අතර ඉරානයට එරෙහිව සම්බාධක පැනවූ අනෙකුත් රටවලට ද මෙම තහනම ක්‍රියාත්මකයි.
මේ අතර, ඩුබායි වරායක නවතා තිබූ කුවේටයේ අල්-සල්මි තෙල් සමාගමේ බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන්, නවේ තෙල් කාන්දුවක් සිදු විය හැකි බවට කුවේට් ඛනිජ තෙල් සංස්ථාව අනතුරු අඟවනවා.

ඩුබායි වරායක නවතා තිබූ කුවේට් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හට ගත්තා.
කෙසේ වෙතත් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටිනවා.
තම නැවකට ප්‍රහාරයක් එල්ල කළ බව කුවේටය ප්‍රකාශ කිරීමත් සමඟ බොරතෙල් මිල සියයට 3.4 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බැරලයක මිල ඩොලර් 106 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඉරාන ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙම සැලසුම අනුමත කර ඇති බවට තහවුරු කර ඇති අතර, ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කෙරෙනු ඇති.
මීට අමතරව, ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලට ද මෙම තහනම ක්‍රියාත්මකයි.
ඉරානය ඕමානය සමඟ සහයෝගයෙන් මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම නාවික මාර්ගය හරහා ප්‍රවාහනය කෙරෙනවා.
කෙසේ වෙතත්, Kpler වාර්තාවන්ට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.

මේ අතර, ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අතිශය තීරණාත්මක මට්ටමකට පත් කරමින්, ඉරානයේ සිවිල් යටිතල පහසුකම් රැසක් පුපුරුවා හරින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, ඉරානය පුරා පිහිටි මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය නිපදවන මධ්‍යස්ථාන සියල්ල විනාශ කරන බවට ඔහු විසින් තර්ජනය කර තිබෙනවා.
ඉරානය වැනි ශුෂ්ක කලාපීය රටක මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දෛනික ජල අවශ්‍යතාවය සපුරාලනු ලබන්නේ මෙම පිරිපහදු මධ්‍යස්ථාන හරහායි.
ට්‍රම්ප් පාලනය විසින් මෙම තීරණය ක්‍රියාත්මක කලහොත්, අහිංසක සිවිල් වැසියන්ට පානීය ජලය නොමැති වීමේ දැවැන්ත මානුෂීය ව්‍යසනයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින අතර, එය ජිනීවා සම්මුතීන් සෘජුවම උල්ලංඝනය කිරීමක් වන බවත්, මෙය යුද අපරාධයක් බවත් ජාත්‍යන්තර නීති විශේෂඥයින් අවධාරණය කරනවා.

මේ අතර, ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් විය හැකි කාලය පිළිබඳව කාලසටහනක් ඉදිරිපත් කිරීමට තමන් අකමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.
යුද්ධය නිසැකවම එහි අඩක් පසු කර ඇති බවත්, ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේදී අභ්‍යන්තරව බිඳ වැටෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ අතර, ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් වාර්තා කළ පෙන්ටගනය ඉරානයේ සති ගණනක් පුරා පැවතිය හැකි ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින පුවත සම්බන්ධයෙන් ඉරාන හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ඉබ්‍රාහිම් සුල්ෆිකාරි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ඕනෑම භූමි ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු හමුදා නින්දාවට පත් වී සිරකරුවන් බවට පත් වනු ඇති බවටයි.
“ට්‍රම්ප් උදේට අපට තර්ජනය කරලා එදාම හවසට සාකච්ජා ගැන කතා කරලා, පැය කිහිපයකින් යුද්ධය පටන් ගන්නවා. මේ අසමබර, රැවටිලිකාර මනුස්සයා ඇමරිකාවේ වගේම ලෝකයේ අනෙක් රටවල ජනතාවට විශාල හානියක් කරලා අවසන්, විශේෂයෙන්ම බටහිර ආසියානු කලාපිය රටවලට, තමන් දන්න එකම භාෂාව යුද්ධය බව ඇමරිකානු ජනාධිපතිවරයා ඔප්පුකර අවසන්, ඉරානයේ ඇතැම් කොටස් අල්ලාගැනීමට හෝ, ගොඩබිම් මෙහෙයුම් කිරීමට ජනාධිපති ට්‍රම්ප් කරලා තියන ප්‍රකාශ ගැන අපට කියන්න තියෙන්නේ ඒවා, නිකම්ම නිකම් සිතිවිලි බවයි. එහෙම වුනොත් ඇමරිකාණු හමුදාවේ අණ දෙන නිලධාරීන් හා සෙබළුන් පර්සියානු බොක්කේ ඉන්න මෝරුන්ට රසවත් ආහාරයක් වෙයි.” යනුවෙන් ඔහු එම වීඩියෝවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, පවතින යුද වාතාවරණය මධ්‍යයේ, ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු වාර්ථා කල ඉහළම අගයට පැමිණ තිබෙනවා.
ඒ අනුව, විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ London Metal Exchangeහිදී 3% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව තිබු බව සඳහන්.

ඉරානයට එරෙහි ඇමරිකා -ඊශ්‍රායල් යුද්ධය නිසා ඇති වූ බලශක්ති තත්ත්වය පිළිබඳ කනස්සල්ලට විසඳුම් සෙවීම සඳහා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් ඩොලර් බිලියන 17.3 ක අතිරේක අයවැයක් යෝජනා කිරීමට නියමිත බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරනවා.
උග්‍රවන යුද්ධයෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහ සමාගම්වලට සහාය වීම සඳහා පසුගිය ජුනි මාසයේදී බලයට පත්වීමෙන් පසු ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ප්‍රතිඥා දී ඇති ලී පරිපාලනය යටතේ වසරකටත් අඩු කාලයක් තුළ ඉදිරිපත් කරන ලද දෙවන අතිරේක අයවැය මෙයයි.

දකුණු කොරියාව සිය තෙල් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ලබා ගන්නේ මැද පෙරදිගින්.

මේ අතර, ඉරානය සමඟ යුද වැදීමට ඇමෙරිකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වී ඇති බැවින්, එම මුදල ඇමෙරිකන් හිතවාදී අරාබි ගල්ෆ් කලාපීය රටවලින් අය කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව ධවල මන්දිර ප්‍රකාශ කරනවා.
1990 ගල්ෆ් යුද සමයේත් මේ ආකාරයටම ඇමෙරිකාවේ මැදිහත් වීමට ප්‍රතිපාදන ලබා දීමට ගල්ෆ් රටවල් කටයුතු කළා.
ඒ ආකාරයටම මෙම යුද්ධයේ දීත් ඇමෙරිකාවට අරාබි රටවලින් යුද වියදම් ලබා ගැනීමට ට්‍රම්ප් සූදානමින් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share