හොර දැව ලොරිය පසුපස පැන්නූ මෙහෙයුම

පොලිස් අණ නොතකා පලා ගිය නීතිවිරෝධීව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ඊට සහය වූ වෑන් රථයක් සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ ලොරි රථය සහ වෑන් රථය හඳුනාගෙන ඇති බවයි.
ලොරි රථය පලා යෑමේ දී හඹා ගිය පොලිසියට‌ අවහිර කරමින් වෑන් රථය ධාවනය කරන දර්ශන පෙලක් ද අප වෙත ලැබී තිබෙනවා.

චාවකච්චේරිය සංගුපිඩ්ඩි මාර්ග බාධකයේ දී ලොරි රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබෙනවා.
කෙසේවෙතත් අදාළ සැකකටයුතු ලොරි රථය පොලිස් අණ නොතකා පළා යන්නේ මෙලෙසයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ලොරිය පසුපස හඹා ගොස් තිබෙනවා.
මෙම මෙහෙයුම එම අවස්ථාවේදී ඔවුන් පිටුපස ගමන් කළ කැබ් රථ‍යේ සිටි පිරිසක් විසින් විඩීයෝගත කර තිබුණා. පොලිස් නිලධාරීන් සැකකටයුතු ලොරිය ලුහුබැඳ යන අවස්ථාවේදී ඊට බාධා කරමින් වෑන් රථයක් පිටුපසින් පැමිණ තිබුණා. චාවකච්චේරිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ පළා ගිය ලොරි රථය සහ ඊට සහය දැක්වූ වෑන් රථයේ අංක තහඩු හඳුනාගෙන තිබෙන බවයි.
ඒ අනුව අදාළ වාහන සහ ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ස්ථානාධිපතිවරයා පැවසුවා.
මෙම පිරිස කලක සිට නීතිවිරෝධීව දැව ජාවාරමේ නිරතව සිටින පිරිසක් බවටද හඳුනාගෙන තිබෙනවා.

Share