ආහාර මිල ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ ඉහළ යනු ඇති.
මේ අතර විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා නව ගාස්තු කාණ්ඩයක් හඳුන්වාදීමටද තීරණය කරත තිබෙනවා.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වසරේ දෙවන කාර්තුව සඳහා බලපැවැත්වෙන විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ අවසර ලබා දුන්නා.
කෙසේ වෙතත් එහි දිගුවක් ලෙස විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා නව ගාස්තු කාණ්ඩයක්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එහිදී ප්‍රකාශයට පත්කළා.
එහි මූලික අරමුණක් වන්නේ විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.
ඒ අනුව කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර මෙම ගාස්තු සංශෝධනය හඳුන්වා දී තිබෙනවා.
කාර්යබහුල අවස්ථාවලදී, එනම් සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ සිදුකරනු ලබන වේගවත් ආරෝපණ සඳහා ඒකකයකට රුපියල් 111ක්ද, සාමාන්‍ය ආරෝපණ සඳහා ඒකකයකට රුපියල් 90ක්ද පාරිභෝගිකයාගෙන් අය කිරීමට නියමිතයි.
එමෙන්ම දිවා කාලයේදී, එනම් උදෑසන 5.30 සිට සවස 6.30 දක්වා කාල පරාසය තුළ වේගවත් ආරෝපණ සඳහා ඒකකයකට රුපියල් 87ක්ද, සාමාන්‍ය ආරෝපණ සඳහා ඒකකයකට රුපියල් 70ක්ද අයකෙරෙනු ඇතී.
කාර්යබහුල නොවන, එනම් රාත්‍රී 10.30 සිට පසුදා උදෑසන 5.30 දක්වා කාලය තුළ සිදුකරනු ලබන වේගවත් ආරෝපණ සඳහා වූ ගාස්තුව ඒකකයකට රුපියල් 53ක් වන අතර සාමාන්‍ය ආරෝපණය සඳහා අයකෙරෙන ගාස්තුව වන්නේ ඒකකයකට රුපියල් 40ක්.
තවද විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා හඳුන්වා දුන් නව ගාස්තු කාණ්ඩය යටතේ, පාරිභෝගිකයන්ට විදුලි වාහන ආරෝපණ මෙහෙයුම් සඳහා වෙන්කෙරුණු විශේෂිත විදුලි සැපයුමක් ලබාගැනීමට අවශ්‍ය වනවා.
ඊට අමතරව අදාළ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ පූර්ව අවසරයද ලබාගත යුතු වනවා.
අද වන විට ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන 25000කට අධික ප්‍රමාණයක් ලියා පදිංචි වී ඇති අතර දිවයින පුරා විහිදී ඇති ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාවද 500ක ප්‍රමාණයක් බව දත්ත වාර්තා පෙන්වා දෙනවා.
සාමාන්‍යයෙන් නිවසේදී විදුලි වාහන ආරෝපණය කිරීමේදී පැය 6ක් – 12ක් අතර කාලයක් ගතවන අතර එය බැටරි ධාරිතාව මත පදනම්වනවා.

විදුලි බලාගාර, ජෙනරේටර්වලින් උත්පාදිත විදුලියෙන්, එනම් නිවෙස්, කර්මාන්තශාලා සහ කාර්යාලවල විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීමට භාවිත කරන සැපයුමකින් මෙලෙස විදුලි වාහන ආරෝපණය කිරීමේදී පැය 2ක් – 6ක් අතර කාලයක් ගතවනවා.

එමෙන්ම බැටරි, සූර්ය පැනලවලින් උත්පාදිත හෙවත් ජංගම දුරකථන, ලැප්ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ ආරෝපණය කිරීමට භාවිත කරන සැපයුමකින් විදුලි වාහන ආරෝපණය සඳහා විනාඩි 30ක් – පැයක් පමණ වගේ කාලයක් ගත වනවා.

කාලීනව අර්බුදයක් පවතින කාල වකවානුවක, ඉන්ධන අර්බුදය, ඉන්දන මිල ඉහළ යාම ආදී ගැටලු හමුවේ බොහෝ ජනතාව විදුලි වාහන කෙරෙහි දක්වන නැඹුරුබව මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර නිශ්චිත ගාස්තුවක් හෝ මිල නියාමනයක් නොතිබූ පසුබිමක විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා වූ ගාස්තු හඳුන්වාදීමට මහජන උපයෝගිතා කොමිසම ගත් ධනාත්මක පියවර හමුවේ දැනට ස්ථාපිත ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය ඉහළ දැමීමටත් අවදානය යොමුකළ යුතුවනවා.

මේ අතර ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පලකළා.

කෙසේවෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share