සහකාර අධ්‍යක්ෂ සිය දිවි නසාගෙන

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සියදිවි හානි කර ගැනීමෙන් සිදුවී ඇති බවට ඊයේ සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා
කුලියාපිටිය – පහළ වීරඹුව – මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ දී පසුගිය 30 වැනිදා ඔහුගේ සිරුර සොයා ගැණුනේ නිවස පිටුපස වැටී තිබියදීයි.
එහිදී සිරුරේ කැපුම් තුවාල සහ ඒ අසල තියුණු ආයුධයක් තිබීම හේතුවෙන් මෙය සැකකටයුතු මරණයක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය විශේෂඥ කමිටුවක් ද පත් කරනු ලැබුවා

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත රාජපක්ෂ පසුගියදා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ නිලධාරින් සිව් දෙනාගෙන් එක් අයෙක්.
එසේම අදාළ සිද්ධියට වැඩ තහනමට ලක්වූ නිලධාරීන් සිව්දෙනා අතරින්, විමර්ශනවලට අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙසත් මොහු හඳුනාගෙන තිබූනා.
ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩ තහනම් කිරීමට ප්‍රථම එක් ප්‍රකාශයකුත් වැඩ තහනම් කිරීමෙන් පසු තවත් ප්‍රකාශ දෙකකුත් ලබා දී තිබුණා.
කෙසේ වෙතත් පසුගිය 30 වැනි දා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කුලියාපිටිය පහළ වීරඹුව මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ පසුපස ඉඩම් කොටසේ කැපුම් තුවාල සහිතව වැටී තිබුණු ඔහුගේ සිරුර සොයා ගැනුණා
ඒ අසල තිබූ පිහියක් කුලියාපිටිය පොලිසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධ පරීක්ෂන පුළුල් කෙරුණේ.
එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය, විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
අනුවයි මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කළේ.
කෙසේ වෙතත්, මෙම අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් ඊයේ සිදුකළ මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවයි.
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත රාජපක්ෂ 50 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වනවා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3:00 ට වීරඹුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Share