කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක්ව සංවිධාන කරන පළමු ජන රැළිය අද නුගේගොඩදී පැවැත්වෙනවා.
වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම සර්ව ජනබලය සහ ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ ද මෙම රැලියට සහභාගී වන්නේ නැහැ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් පැවැත්වීමට නියමිත මෙම ජන රැලිය ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ලෙස නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැලිය අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුලු පක්ෂ කිහිපයක් එක්වනවා.
රැළිය ආරම්භ වන පස්වරු 02.00 සිට රැළිය අවසන් වන තුරු, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා වනවා.
ඒ අනුව පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන රැලිය පැවැත්වෙන ස්ථානයට යාබදව පිහිටා ඇති බැවින් රැළිය පවත්වන පරිශ්‍රය තුල පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට ඉඩ ලබා දී ඇති බවයි.
ඒ අනුව බලපත්‍ර කොන්දේසි මත කටයුතු කරන ලෙස පොලීසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී ඇතැයි ද අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.
මේ අතර අද උදෑසන පන්නිපිටිය ගුවන් පාලම මත ගවයන්ට ලබාදෙන තණකොළ මිටි බැඳ තිබෙනු දක්නට ලැබුණා.





