විදුලි සේවකයින් වර්ජනයක

ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ස්ථාපිත කළ නව සමාගම් වෙත සේවකයින් අනුයුක්ත කිරීමේදී ක්‍රමවත් පත්විම් ලිපි ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විදුලි වෘත්තීය සමිති 24ක් අද පස්වරු තුනේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා.
විදුලි වෘත්තීය සමිති පවසන්‍නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ අවනිශ්චිතතාව මුල් කර ගනිමින් මෙම වර්ජනය ඇරඹු බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ම‍ධ්‍යම රාත්‍රියේ සිට අවසන් වූ අතර, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ පිහිට වූ නව සමාගම් හය අද සිට ක්‍රියාත්මක වනවා.

1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරනු ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම යන සියලු වගකීම් දරනු ලැබුවා.
කෙසේවෙතත් පැවති ආර්ථික අර්බුද ඇතුළු ගැටලු රැසක් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රැසක් ප්‍රතිව්‍යුහගත කිරීමට නිර්දේශ කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යෝජනාව පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කරනු ලැබුවා
එහි ප්‍රතිඵලයක් වූයේ 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලි බල පනත ගෙන ඒමයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සංශෝධන කිහිපයක් සමග පනත සම්මත කර ගැණුනා.
ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි වුණා.
විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගනු ලැබුවා.
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගමයි.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා කැමැත්ත පළ කළ සේවකයින්ගේ සේවා කාලය ඊයේ සිට අවසන් වනු ඇති.
තවදුරටත් රැකියාවේ නියැලීමට කැමැත්ත පළ කර ඇති සෙසු සියලුම සේවකයින් අනුප්‍රාප්තික සමාගම්වලට නීත්‍යානුකූලව අනුයුක්ත කිරීම ද සිදුවනවා.
කෙසේවෙතත් විදුලි සේවකයින්ට නව ආයතන සඳහා ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදීම සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති විරෝධය පල කරනවා.
එම වෘත්තීය සමිති අද පස්වරු තුනේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේ විරෝධය පල කිරීමේ පියවරක් ලෙසයි.

මේ අතර, විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම සහ නව සමාගම් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පල කළා.

Share