වසරේ මුල් මාස 10 ඇතුලත මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 06 ඉක්මවයි

වසරේ මුල් මාස 10 ඇතුලත මෙරටට ලැබී අති විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 06 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තික ප්‍රේෂණයක් ලැබී තිබෙනවා.
ඒ අනුව 2025 ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා ලැබී ඇති මුළු විදේශ සේවා නියුක්තික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක්.
එම ලැබීම් පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා ලැබී ඇති ප්‍රේෂණයන්ට වඩා 20.1%ක වැඩි වීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
එමෙන්ම 2025 වසරේ මුල් මාස නවය දක්වා වන ලැබීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ එම කාල සීමාව තුළ මෙරට සංචාරක ඉපැයීම් ද ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක ඉක්මවා ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන බවයි.
එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමක්.

Share