ඊයේ තරගයේදී මස්පිඬු ආබාධයකට ලක් වූ වනිඳු හසරංග අද පෙරවරුවේ MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි. T20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් අද පැවැත්වෙනවා. මෙවර තරගාවලියේ කෝඩුකාරයන් වන ඉතාලිය C කාණ්ඩයේ සිය පළමු තරගය කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හි අද ක්‍රීඩා කරන්නේ ස්කොට්ලන්තයට එරෙහිවයි. ඉතාලිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය වෙන් කර ගත්තේ යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ස්කොට්ලන්තය පරාජය කරමින් වීම විශේෂත්වයක්. B කාණ්ඩයේ ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගය අද පස්වරු තුනට කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කණ්ඩායම් දෙක T20 ජාත්‍යන්තර තරගයක එකිනෙකා හමු වන්නේ පළමුවරටයි. කෙසේ වෙතත් පසුගිය 5 වැනිදා පැවති පුහුණු තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතරකින් පරාජය කිරීමට ඕමානය සමත් වුණා. මේ අතර ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගය නොමිලේ නැරඹිමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. T20 ලෝක කුසලානයේ අද දිනයේ තෙවැනි සහ අවසන් තරගය පැවැත්වෙන්නේ කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතරයි. එම තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.





