ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවන ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා අවශ්‍ය කරන විරුද්ධ නොවීමේ සහතිකය තවදුරටත් ලබා නොදීමේ තීරණයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගය සඳහන් කරන්නේ ඒ අනුව මේ වනවිටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා තෝරාගෙන ඇති වනිදු හසුරංග සහ නුවන් තුෂාර දෙදෙනාත් එම කඩඉම පසු කළ යුතු බවයි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සියලු දෙනාගේ ශරීරික යෝග්‍යතාව ඉහල දැමීම සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිහිටා ඇති ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ඒ සඳහා වන පුහුණුවීම් දිනපතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුදුසුකම් ලබා ඇති වනිදු හසරංග මෙම පුහුණුවීම් සඳහා නිරන්තරයෙන් සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.
ඇතැම් අවස්ථාවලදී වනිදූ ඉහළ කාර්ය සාදන මධ්‍යස්ථානයේ පුහුණුවීම් මගහැර එම මධ්‍යස්ථානයේම දැල් ආශ්‍රිතව පෞද්ගලික පුහුණුවීම් කටයුතු වල නිරතවන ආකාරයත් නිරීක්ෂණය වී ඇති බවයි එම මධ්‍යස්ථානයේ නිලධාරියකු සඳහන් කළේ.
ඉහල කාර්ය සාදන මධ්‍යස්ථානයේ පුහුණුවීම් සඳහා එක් නොවන්නේ නම් ඒ සඳහා දැනුම් දිය යුතු නිසි ක්‍රමවේදයක් පවා හඳුන්වා දී ඇති අතර මේ ජේෂ්ඨ ක්‍රීඩකයා එම ක්‍රමවේදයන් පවා නොසලකා හැර ඇති බව අප සමග අදහස් දැක්වූ පුහුණුකරුවෙකු පවසා සිටියා.
කෙසේ වෙත වනිදුගේ මෙම විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි තීන්දු තීරණ ගැනීම ක්‍රිකට් ආයතනය සතු කාර්යයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ඉන්දීය පිරිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලරු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශාර මුහුණ පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වුනා.
මේ හේතුවෙන් ඔහුගේ අයි.පී.එල් තරග සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇති අතර අප සමග අදහස් දැක්වූ ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ පුහුණුකරු සඳහන් කළේ ඔහුට ඕනෑම අවස්ථාවක දී තවත් යෝග්‍යතා පරීක්ෂණයකට එක් විය හැකි බවයි.
මේ අතර නුවන් තුෂාර වෙනුවෙන් ඊයේ දිනයේ යෝග්‍යතා පරීක්ෂණයක් සැලසුම් කර තිබුණද ඔහු ඒ සඳහා එක් නොවීම හේතුවෙන් එම පරීක්ෂණය සිදු කෙරුණේ නැහැ.





