ශ්‍රී ලංකාවේ කිතුල් මැදීම යුනෙස්කෝ අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
මෙය, යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් නියෝජිත ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කළ තුන්වන අවස්ථාවයි. නවදිල්ලි නුවර පැවති අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ විසිවන සැසිවාරයේදී කිතුල් මැදීම සඳහා යොදා ගන්නා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රමය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන බව නිවේදනය කෙරුණා.
ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තයට ඉතිහාසය පුරා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.
කිතුල් මල කපා ඉන් ලබා ගන්නා තෙලිජ්ජ මගින් නිපදවන කිතුල් රාවලට මෙන්ම කිතුල් පැණි හා හකුරු සඳහා ඇත්තේ විශාල ඉල්ලුමක්.
ශ්‍රී ලංකාවේ කිතුල් කැපීමේ ශිල්පය මිනිසුන් සහ ස්වභාව ධර්මය අතර ගැඹුරු සියවස් ගණනාවක් පැරණි සබඳතාවයක් මූර්තිමත් කෙරෙන බවයි යුනෙස්කෝව පවසන්නේ.
එය ඉවසීම නිවැරදි බව අධ්‍යාත්මිකත්වය මෙන්ම පරිසරයට ඇති ගෞරවය සාම්ප්‍රදායික ශිල්පි ක්‍රමයක් බව පවසන යුනෙස්කෝව පරම්පරා ගණනාවක් පැවැත්වෙන කිතුල් කැපීමේ උරුමය නොසැලි ආරක්ෂා කළ ග්‍රාමීය ජනතාවගේ දැනුම සිරිත් විරිත් මෙන්ම ජීවනෝපායද සංකේතවත් කරන බවද පවසනවා.
මේ අතර, ලෝක වාසි හින්දු ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන දීපාවලිය ද යුනෙස්කෝවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ නියෝජිත ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සහ රාම දෙවියන් ඔහුගේ රාජධානියට නැවත පැමිණීම සනිටුහන් කරන ආලෝක උත්සවය දීපාවලියයි.
යුනෙස්කෝවට අනුව, අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනු ප්‍රජාවන් තම සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් ලෙස දකින භාවිතයන්, දැනුම, ප්‍රකාශන, වස්තූන් සහ අවකාශයන්.
පරම්පරා ගණනාවක් පුරා සම්ප්‍රේෂණය වන මෙම උරුමය පරිණාමය වන අතර, සංස්කෘතික අනන්‍යතාවය සහ විවිධත්වය අගය කිරීම ශක්තිමත් කරනවා.





