ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දිනය අද

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දිනය අදට යෙදී තිබෙනවා.
පාස්කුව වෙනුවෙන් සෙනසුරා රාත්‍රී පැවති දේව මෙහෙයේ දී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවයි.
එක් මනුෂ්‍යයෙකුට ලෝකය පාලනය කිරීමට පවතින ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව උන්වහන්සේ එහිදී සඳහන් කළා.

කිතුනු බැතිමතුන් මහත් හරසරින් සමරන පාස්කුව යනු ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු මළවුන්ගෙන් උත්ථානය වීම සැමරීමයි.
මෙය කතෝලික ජනවන්දනාව තුළ උතුම්ම සහ පැරණිතම මංගල්‍යය ලෙස සැලකෙනවා.
ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරු දිනයෙන් අවසන් වනවා.
බයිබලයේ සදහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි.
ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ බලාපොරොත්තුවේ දිනය වන ආල්ලේලූයියා සෙනසුරාදා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විජයහ්‍රාහී උත්තාන මංගල දින මෙරට ප්‍රධාන දේව මෙහෙය කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී ඊයේ රාත්‍රී පැවැත්වුණා
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දේව මෙහෙයට බොහෝ පිරිසක් එක්ව සිටියා.

Share