විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අවයව පෙන්වූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
එම සිද්ධිය වාර්තා වුණේ ආරුගම් බේ ප්‍රදේශයෙන්.
මේ අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමිව ඇත්තේ පෞරාණික උරුමය සහ ස්වභාව සෞන්දර්යය නිසා පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ගේ ලොව පුරා පැසසුමට ලක් වූ ආගන්තුක සත්කාරය ද නිසායි.
වසරේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතත් මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 19කට වඩා මෙරටට පැමිණ තිබෙනවා.
වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ නමට කලු තිතක් එක්කළ සිද්ධියක දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මෙරට සංචාරයක නිරත විදේශීය තරුණියක් මෙම මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ ආරුගම් බේ ප්‍රදේශයේ දී.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණිය ඊමේල් ඔස්සේ සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 2248022 හෝ පොතුවිල් පොලිස් ස්ථානාධිපති 071 8591168 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





