රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීම ගැන අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවෙන් බැහැරව ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීම මත ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන සිටින වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් පිරිසක් ගොනු කර තිබෙන රිට් පෙත්සම් ජනවාරි මස 14 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා.
පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය මුලුමනින්ම නීත්‍යානුකූල බවයි.

වාහන ආනයකරුවන් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
පෙත්සම්කාර වාහන ආනයන සමාගමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.
තවත් පෙත්සම්කාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ණයවර ලිපි විවෘත කර වාහන මෙරටට ආනයනය කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ණයවර ලිපි විවෘත කර වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා වාහන ආනයනය කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙක කිසිසේත්ම උල්ලංඝනය කර නොමැති බවයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය සදහා ජනවාරි 14 වැනිදා කැඳවන ලෙස නියම කළා.
මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා දෙසැම්බර් මස 03 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකාර ශ්‍රී ලංකා රේගුව ඇතුළු පාර්ශ්වවලට නියම කළ අධිකරණය ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට දෙසැම්බර් 15 වැනිදා දක්වා කල් ලබා දුන්නා.

Share