අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේදී හදාරා, සුදුසුකම් සපුරා තිබූ ශ්‍රී ලාංකික සිසුවෙකු මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ගොනුකළ පෙත්සමක් සලකා බලමින් මෙම තීන්දු ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ සිසුවා වාහාම ක්‍රියාත්මක වන පිරිදි මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගන්නා ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝගකළා.
පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.
තමන් කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
අනතුරුව තම පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලැබීමෙන් අනතුරුව තමාද රුසියාව බලා පිටත් වූ බවත්, එහිදී ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.
අදාළ විභාගය, ශ්‍රී ලංකාවේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන බවයි පෙත්සම්කරු පවසා ඇත්තේ.
තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළද, ඊට අදාළ නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එතුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමිනුයි පසුව ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, පෙත්සම්කරුගේ අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යාංශය ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.
අනතුරුව, අදාළ ක්‍රියාව තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල කොමිසමට නියෝගයක්ද නිකුත් කළා.





