මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.
රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත්.
ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ද පැවැත්වුණා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පැවසුවේ වෛද්‍යවරුන් ඇතුළු සියලු වෘත්තිකයන්ට ලබාදිය හැකි සියලුම පහසුකම් ඉදිරියේදී ලබාදෙන බවයි.
නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට සූදානම් නැහැ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් දිවයින පුරා රෝහල් තුළ දී රෝගී ජනතාව පීඩාවට පත් වුණා.





