මහත් ආන්දෝලනයක් ඇති කළ කඩවත, ඉහළ බියන්විල ව්‍යාපෘතිය අවසන් කර එය අද ජනතා අයිතියට පත් කෙරුණා.

ජලය බැස්වීම සඳහා මාර්ගයක් මැද කානු කැපීම නිසා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ කඩවත, ඉහළ බියන්විල ව්‍යාපෘතිය අවසන් කර එය අද ජනතා අයිතියට පත් කෙරුණා.
බියගම ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් එම මාර්ගයේ ස්ථාන කිහිපයක රැස්වන විශාල ජල ධාරිතාවක් කාණු ඔස්සේ පහළ ප්‍රදේශයට යොමු කිරීමට නියමිතයි.
කෙසේවෙතත් එම කානු ව්‍යාපෘතිය තවත් නිවාස කිහිපයක් අසලින් නතර කිරීම නිසා මෙතෙක් ජලයෙන් යට නොවූ නිවාස කිහිපයක් අවදානමට ලක්ව තිබෙනවා.
කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාර මාධ්‍යයේ ඉදි කළ මෙම කානු පද්ධතිය පසුගිය සමයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.
බියගම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 23ක වියදමකින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවදානයක් ය‍ොමු වුණේ මාර්ගයේ එක් පසකින් කානු පද්ධතිය ඉදි නොකට ශක්තිමත් කොන්ක්‍රීට් පාරක් මැදින් කානු කැපීම හේතුවෙන්.
එසේම ගම්මානයේ එක් පාර්ශ්වයක් මතු කරන ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම බියගම ප්‍රාදේශය සභාවේ සභාපතිවරයා දිගින් දිගටම මඟ හැරිම ද තවත් ගැටලුවක් වුණා.
මේ සම්බන්ධයෙන් අනෙක් පාර්ශ්වයෙන් කරුණු දැන ගැනීම සඳහා ටීවී සුප්‍රීම් නිවුස් ඉහළ බියන්විල කනත්ත පාර ප්‍රදේශයට ගියද එහිදී එක් පුද්ගලයෙකු ආවේගශීලි ලෙස හැසිරෙමින් අපගේ රාජකාරියට ද බාධා කළා.
කෙසේවෙතත් මාධ්‍යයෙන් වසන් කරමින් ඉදි කළ මාර්ගය අද විවෘත කෙරුණේ බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන්.
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා මෙන්ම ගම්මානයේ එක් පාර්ශ්වයක් පෙන්වා දෙන ආකාරයට වර්ෂාව සමයේ මෙම කානු පද්ධතිය මඟින් පහලට ගලා එන්නේ අති විශාල ජල කඳක්.
සැලකිය යුතු පළලකින් සහ විශාල ගැඹුරකින් යුත් මෙම කානු පද්ධතිය ඔස්සේ ගලා එන නිසි බැස්මකට යොමු නොකළ ජලය නතර වන්නේ ප‍්‍රදේශයේ තවත් නිවාසයක් අසලින්.
එතැන් සිට පහළට ජලය ගලා යාම සඳහා ක්‍රමවත් කානු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් මාර්ගයේ පහළ කොටසේ පදිංචි ප්‍රදේශවාසීන් මේ වන විට දැඩි නොසන්සුන්තාවට පත්ව සිටිනවා.
එම ජනතාව බියගම ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කානු පද්ධතියේ ඉතිරි කොටස සාදා නිම කර මෙම ගැටලුව විසඳා දෙන ලෙසයි.
ප්‍රදේශයේ සියලු ජනතාවට සාධාරණයක් ඉටු කරන තුරු ටිවි සුප්‍රීම් නිවුස් අවධානයෙන්.

Share