පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා තිබෙනවා.
එලෙස අභිලාෂය පල කරන දේශීය හා විදේශීය ආයෝජකයින් සමඟ ගනුදෙනුව සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සේවා වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ “සම්පත් භාවිතා කිරීම” සඳහා ආයෝජන සඳහා “අනාගත ආයෝජකයින්ගෙන් එනම් සමාගම්, සංස්ථා, සමාගම් සහ ඒකාබද්ධ ව්‍යාපාරවලින් යෝජනා කැඳවන” බව නිවේදනය කර තිබෙනවා.
ඒ ගුවන් මෙහෙයුම් සහ ගොඩබිම් මෙහෙයුම් යන අංශයි.
ගුවන් හා ගුවන්තොටුපළ මෙහෙයුම් යටතේ අභ්‍යන්තර පරිමිතිය තුළ සිවිල් ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර ගොඩබිම් මෙහෙයුම් යටතේ බාහිර සහ අභ්‍යන්තර පරිමිතිය තුළ අයෝජන අවස්ථාව විවෘතව පවතිකවා.
දෙස් විදෙස් ඕනෑම ආයතනයකට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර, ලබන ජුනි මස 09 වනදා දක්වා මේ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
ආයෝජකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් මැයි 22 වනදා මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව අතීතයේ දී රුසියානු සමාගමක් සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ඇතුළුව ‘ලෝකයේ හිස්ම ගුවන්තොටුපළ’ ලෙස නම් කෙරුණු මත්තල ගුවන්තොටුපළ ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබුණ ද එම යෝජනාව සාර්ථක වූයේ නැහැ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ මත්තල ගුවන්තොටුපළ ඉදි කරන ලද්දේ ඩොලර් මිලියන 200 කට ආසන්න චීන ණයක් ලබාගෙනයි.
කෙසේ වෙතත්, 2013 දී එය දියත් කළ දා සිට ගුවන්තොටුපළ තවමත් වාණිජමය වශයෙන් ශක්‍යතාවක් අත්කර ගැනීමට සමත් වී නැහැ.
ගුවන්තොටුපොළ රුපියල් බිලියන 40 කට ආසන්න සමුච්චිත අලාභයක් වාර්තා කර ඇති බව 2024 දී විගණකාධිපති වාර්තාවේ සඳහන් වුණා.
ගුවන්තොටුපළට දැනට නිශ්චිත ගුවන් ගමන් නොමැති නමුත් විශේෂිත ගුවන් යානා පමණක් පැමිණෙනවා.





