බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් සිදුකරන ශාසන විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තරයේ හෙළා දකි

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීතිවිරෝධී ක්‍රියාව තරයේ හෙළා දකින බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහ නාහිමිවරු අවධාරණය කරන්නේ ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
බුද්ධ චීවරයක් ශාසනික අනන්‍යතාවත් අවභාවික කරමින් මෙවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතා යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.
ඒ අනුව අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද එ්කාබද්ධ නිවේදනයේ සඳහන්.
උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකව තරුණ භික්ෂූන් වහන්සේ මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව මහ නාහිමිවරු අවධාරණය කරනවා.
එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට පියවර ගන්නා ලෙස මහ නාහිමිවරු සියලු ආචාර්යන් වහන්සේ වෙත ද දැනුම් දෙනවා.

Share