ප.ව. 3න් පසු වායු සමීකරණ තහනම්

බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරිම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
එහි මූලික අරමුණ වී ඇත්තේ විදුලි පරිභෝජනය හැකිතාක් අවම කර ගැනිමයි.
මේ අතර පවතින තත්ත්වය යටතේ වුවද වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු සංවර්ධන ව්‍යාපෘතීන් කල් දැමිමකින් තොරව සිදු කරගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.

බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය කොමසාරිස් කාර්යාලය විසින් පසුගිය 24 දා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා.
එම මාර්ගෝපදේශ මාලාව පුලුල් කරමින් තවදුරටත් බලශක්ති ඉතිරි කර ගැනීම සඳහා තවත් මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා.
ඒ අනුව සියලු රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල පස්වරු 3.00 සිට සියලුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු වනවා.
පෞද්ගලික අංශ සඳහාද එම ඉල්ලීම යොමු කර තිබෙනවා.
එමෙන්ම පස්වරු 8.00න් පසු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආළෝක පුවරු නිවා දැමිය යුතුයි.
පළාත් පාලන ආයතනවලින් පාලනය වන වීදී ලාම්පු පස්වරු 6-10 ත් කාල සීමාව තුළ නිවා දැමීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද එහි දැක්වෙනවා.
තවද පුද්ගලයින් 100ට වැඩි උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන පැවැත්වීමට වගබලා ගත යුතු බවද එහි දැක්වෙනවා.
මේ අතර ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් දායක වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සමතා පවසන්නේ බලශක්ති පරිභෝජනය හැකි උපරිමයෙන් අවම කර ගනිමින් වුවද වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු සංවර්ධන ව්‍යාපෘතීන් කල් දැමිමකින් තොරව සිදු කරගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර QR ක්‍රමවේදය සහ වාහනයේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සිදු වන අතර ඒ අනුව බොහෝ පිරවුම්හල්වල මේ වන විට පෝලිම් ඇතිවීමේ තතත්වය පහව ගොස් තිබෙනු දැකගත හැකියි.
කෙසේ වෙතත් 31 සහ 1 වැනිදා යෙදෙන අද සහ හෙට දිනයේ ඉන්ධන ලබා ගැනිමට හැකි වන්නේ ඔත්තේ අංක සහිත වාහන සඳහා පමණයි.
මිට යම්කිසි පිළියමක් ලබා දීම සඳහා සාකච්චා පැවැත්වෙන බව ප්‍රකාශ කෙරුණද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්වී නැහැ.
එමෙන්ම මාසික ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරිමට නියමිතව පවතින්නේ ද උග්‍ර වන යුධ ආතතීන් මධ්‍යයේ තවදුරටත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද බොරතෙල් මිලෙහි යම් අඩුවිමක් ද දක්නට ලැබුණා.
මේ අතර පෞද්ගලික සමාගම් විසින් අවශ්‍ය පරිදි ඉන්ධන හල්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රශ්න රැසක් උද්ගතව ඇතැයි ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

Share