ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ සංවිධාන කළ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයකදී පිඹුරෙකු සමග නර්තනයේ නිරත වූ තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අධිකරණයේ දී අනාවරණ වුණේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට එම තරුණිය කැඳවා තිබුණ ද ඇය එය මගහැර ඇති බවයි.
කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණු අවුරුදු කුමරා සහ කුමාරිය තේරීමේ තරගයක තරඟකාරියක් පිඹුරෙකු සමග නර්තනයේ යෙදෙන දර්ශන පෙලක් පසුගිය ද සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින්
මෙම සිදුවීමට අදාළව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර තිබෙනවා.
කොළඹ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණිය සැකකාරියක ලෙස නම් කර ඇති බවයි.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක ලබා දෙන ලෙස දැනුම් දුන්න ද ඇය ප්‍රතිචාර නොදක්වා මග හරිමින් සිටින බව වනජිවි දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙසත් අදාළ තරග සංවිධායකයාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා දෙන ලෙසත් වනජිවි දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න මහතා නියෝග කළේ අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
වැඩසටහන සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද අධිකරණය අවසර ලබාදී තිබෙනවා.





