පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වන අදියරය අද ලාහෝර් නුවරදී

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන “සහෝදරයන්ගේ සටන” වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර සහෝදරයන්ගේ සටන අප්‍රේල් මස 3, 4 සහ 5 යන දිනවල කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
අද පැවැති මාධ්‍ය හමුවට ඉසිපතනයේ විදුහල්පති දර්ශන උඩවත්ත සහ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ යන මහත්වරුන් එක්ව සිටියා.
මෙවර තරග වාරයේදී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම මලීෂ සඳරුවන් විසින් මෙහෙයවනු ලබන අතර, තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය යොවුන් ශිල්ප විසින් දරනු ලබනවා.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගය මේ මස 31 සහ අප්‍රේල් 01 වැනිදා කොළඹ පී සරා ඔවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පති ඩිලාන් නිශාන්ත සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙවර ශාන්ත ජෝන් විද්‍යාලයේ නායකත්වය සඳුන් දෙව්මින පෙරේරා විසින් දරණ අතර, පෝෂිත මදනායක කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට නායකත්වය ලබා දෙනවා.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී එක්දින ජාත්‍යන්තර තරග 03කට සහ විස්සයි 20 තරගය 03කක්තරගාවලියක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.
මේ ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශයට යන පළමු අවස්ථාවයි.
තරගාවලියේ එක්දින තරග තුනම රාජ්ශා හිදී පැවැත්වෙන අතර, ඒ තරග අප්‍රේල් 20, 22 සහ 25 යන දිනවල පැවැත්වෙනු ඇති.
ඉන් අනතුරුව පන්දුවාර 20 තරගාවලිය ඇරඹෙන අතර එම තරග සියල්ල පැවැත්වෙන්නේ සිලෙට් නගරයේදී.
එම තරග අප්‍රේල් 28,30 සහ මැයි 02 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මේ දිනවල මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු වයස අවුරදූ 20න් පහළ පාපන්දු ශුරතාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැති තීරණාත්මක තරගයෙන් ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, පළමු අර්ධයේදී නේපාලයේ සුබාෂ් බම් විසින් වාර්තා කළ ගෝලය තරගයේ තීරණාත්මක සාධකය බවට පත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන අර්ධයේදී ලකුණු තත්ත්වය සම කිරීමට අවස්ථා කිහිපයක්ම නිර්මාණය කර ගත්තද, නේපාලයේ ශක්තිමත් ආරක්ෂක පෙළ බිඳ දැමීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන භූතානය සමඟ තරගය ජයගතහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවනවා.

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වන අදියරය අද ලාහෝර් නුවරදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලිය විශේෂ වන්නේ කණ්ඩායම් සංඛ්‍යාව 6 සිට 8 දක්වා වැඩි කරමින්, Hyderabad Kingsmen සහ Rawalpindiz යන නව කණ්ඩායම් දෙක එක්වීම හේතුවෙන්.
අද රාත්‍රියේ පැවැත්වෙන සමාරම්භක තරගයේදී ශහීන් අෆ්රිඩි මෙහෙයවන Lahore Qalandars කණ්ඩායම සහ මානස් ලබුෂේන්ගේ නායකත්වයෙන් යුත් Hyderabad Kingsmen කණ්ඩායම එකිනෙකා මුණගැසෙනවා.
කෙසේ වෙතත්, කලාපීය ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙවර තරගාවලියේ සියලුම තරග ලාහෝර් සහ කරච්චි නගරවලට පමණක් සීමා කර ඇති අතර, ආරක්ෂක හේතූන් මත ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීමටයි පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

Share