ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලු ඖෂධ අත්හිටුවයි

මතභේදාත්මක ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධ එන්නත නිෂ්පාදනය කර මෙරටටට ආනයනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමේන් මෙරටට ගෙන්වන තවත් ඖෂධ වර්ග 10ක් මෙරට රෝහල් තුළ භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ් ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වනතුරුයි.

ඔන්ඩන්සෙට්රෝන් යනු ශල්‍යකර්මවලට යොමු කෙරෙන රෝගීන්ට නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන වමනය, ඔක්කාරය වැනි අතුරු ආබාධ වැළැක්වීම සඳහා ලබාදෙන ඖෂධයක්
2022 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය සපයා තිබුණේ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම සහ තවත් එක් සමාගමක් විසින්.
කෙසේ වෙතත් පසුගිය දා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට මෙම ඖෂධය ලබාදීමෙන් පසු සංකූලතා මතුවීමත් සමග මෙම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මුල් වරට සැක මතුවුනා.
ඒ් අනුව අදාළ එන්නත සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහල කළ මූලික පරීක්ෂණයකදී එම එන්නතේ ඇතැම් ඛාණ්ඩ තුළ විෂබීජ අඩංගු බව අනාවරණය වී තිබුණා.
මේ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහල විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කිරීමෙන් පසු එම ඖෂධයේ ඛාණ්ඩ 04ක් භාවිතයෙන් ඉවත් කිරීමට පසුගිය 12 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තා.
මේ අතර කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටියදී මියගිය කාන්තාවන් දෙදෙනෙකුට ද ප්‍රතිකාර අතරතුර මෙම එන්නත් ලබා දුන් බව අනාවරණය වීමෙන් පසු ඔවුන්ගේ මරණයට මෙම එන්නතේ සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් ද සැකයක් ඉස්මතු වී තිබුණා
ඒ් අනුව අදාළ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් එම ඖෂධයේ ඉතිරි සියලු එන්නත් භාවිතයෙන් ඉවත් කිරීමටයි ඖෂධ සැපයුම් අංශය සියලු රජයේ රෝහල්වලට උපදෙස් නිකුත් කළේ.
එමෙන්ම එන්නත ලබාදීමෙන් පසු මියගිය රෝගීන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ද පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබුනා.
මේ අතර ඊයේ පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධීකාරිය ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධ එන්නත නිපදවූ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමෙන් මෙරටට ගෙන්වූ තවත් ඖෂධ වර්ග 10ක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලෙස උපදෙස් නිකුත් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

කෙසේ නමුත් මෙම ඖෂධය රෝහල්වලින් ඉවත් කිරීමෙන් ඖෂධ හිඟයක් මතු නොවන බවයි වෛද්‍ය සැපයුම් අංශය අවධාරණය කරන්නේ. ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා සඳහන් කළේ ලබන වසර සඳහා මෙම ඖෂධ ඇණවුම, වෙනත් සමාගමක් වෙත ලබාදී ඇති බැවින් ලබන ජනවාරියේදී එම ඖෂධ තොගය ලැබීමට නියමිත බවයි.

Share