ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීමේ සටනේ පියවරක් ලෙස අසල්වැසි පන්ජාබ් හි ගොවීන් පිදුරු පුළුස්සා දැමීම වෙනුවට ප්‍රතිචක්‍රීකරණයට පියවර ගෙන තිබෙනවා.
දිල්ලියේ වායු ගුණාත්මක බව දරුණු ලෙස පහළ ගොස් ඇති අතර එහි බලපෑම පසුගිය දිනවල ශ්‍රී ලංකාවට ද එල්ල වුණා.
නවදිල්ලිය ලෝකයේ වඩාත්ම දූෂිත නගරවලින් එකක් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ සෑම ශීත කාලයකම පිදුරු පුළුස්සා දැමීමයි.
අඩු උෂ්ණත්වවලදී මන්දගාමී සුළං වේගය හේතුවෙන් වාහන දුම හා දූවිලි සමඟ පිදුරු පිලිස්සෙන දුම ද එකතු වීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
පසුගිය සතියේ නවදිල්ලියේ වායු ගුණාත්මක දර්ශකය එ්කක 400 ක් දක්වා ඉතා අහිතකර මට්ටම ද ඉක්මවා ගොස් තිබූ අතර මේ හේතුවෙන් ඉදිකිරීම් සහ කාර්මික ක්‍රියාකාරකම් සීමා කිරීමට ද සිදු වුණා.
එහි බලපෑම අසල්වැසි පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාවට ද සෑම වසරක දීම එල්ල වනවා.
පසුගිය දිනවල කොළඹ, යාපනය ඇතුලු ප්‍රදේශ රැසක වායු ගුණාත්මක තත්ත්වය අවදානම් මට්ටමකට ඉහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඊයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එම තත්ත්වය අද වන විට පහව ගොස් තිබෙනවා.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මාන 800 කට අධික සංඛ්‍යාවක ගොවීන් දැන් පිදුරු පිළිස්සීම වෙනුවට ප්‍රතිචක්‍රීකරණයට යොමු වී තිබෙනවා.
ජීව වායුව, ජෛව පොහොර සහ කාඩ්බෝඩ් ඇතුළු අනෙකුත් භාණ්ඩ නිපදවීමට පිදුරු ලබා දීමට ගොවීන් තීරණය කර ඇතැයි ඉන්දියානු කර්මාන්ත සම්මේලනය පවසනවා.
මෙම පියවර මඟින් ගොවීන්ට අතිරේක ආදායම් මාර්ගයක් ද නිර්මාණය වී තිබෙනවා.





