පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන කීරීමට රජය තීරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දුන්නේ නව පනත් කෙටුම්පතක් යථා කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

ඒ අනුව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බැවින් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් 06 ක් අද විභාගය සඳහා කැඳ වූවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා දැනුම් දුන්නේ
මෙම පනත් කෙටුම්පත පිළිබඳ මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වැනිදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බවයි.

ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා යන පාර්ශ්ව නම් කරනු ලබන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් සලකා බැලීමට නියමිත බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා, මෙම පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු ද එහිදී සලකා බැලීමට නියමිත බව ද සඳහන් කළා.

අනතුරුව එම විශේෂඥ කමිටුව විසින් අදාළ පනත් කෙටුම්පතට කළ යුතු සංශෝධන අඩංගු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා අපේක්ෂා කරන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණු ඇතුළත් කර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නීතිපතිවරයා වෙත ඒවා තිබූ ලිපියක් ද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥවරු කණ්ඩායම විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා

ඒ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

Share