නාමල්ගේ උපාධි සහතිකය කෝ ?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ නිසි සුදුසුකම් නොමැතිව, සැක කටයුතු නීති උපාධි සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් බව දි ඒග්සැමිනර් වෙබ් අඩවිය වාර්තා කරනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය සමත් වීම මේ වන විටත් අභියෝගයට ලක්ව තිබෙනවා.
එවන් පසුබිමක දි එග්සැමිනර් වෙඩ් අඩවියට දීර්ඝ ලිපයක් සම්පාදනය කරමින් නිර්මල කන්නංගර නැමති ලියුම්කරු පෙන්වා දෙන්නේ නාමල් මන්ත්‍රීවරයා, නීති විද්‍යාලයට ඇතුළත් වීමට පවා සුදුසුකම් සපුරා නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ 2011 දෙසැම්බර් 15 වැනිදා මෙරට උත්තරීතරම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා.
ඔහු දිවුරුම් දුන් දින සිටම සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ දැවැන්ත චෝදනාවකින් කියවුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයේ අවසන් විභාගයට තනිව පෙනී සිටි බවයි.
ඒ් සම්බන්ධයෙන් එවක තවත් නීති ශීෂ්‍යයකු වූ තුෂාර ජයරත්න සමාජ මාධ්‍ය ඔස්සේ විශාල හෙළිදරව්වක් කළ අතර, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥ ධුරය වංචනිකව ලබාගත් බවට ඔහු කරුණු ඉදිරිපත් කළා.
එම චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලා පසුගිය දා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අතර, ඒ සම්බන්ධයෙන් ඇරඹූ විමර්ශන මෙතෙක් අවසන්ව නැහැ.
මේ අතර දි ඒග්සැමිනර් වෙඩ් අඩවියට ගවේෂණාත්මක ලිපියක් සපයමින් නිර්මල කන්නංගර පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ තමා 2006 වසරේ සිට 2009 වසර දක්වා ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයේ නීති උපාධීයක් හදාරා සම්පූර්ණ කර ඇති බවට ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2009 සැප්තැම්බර් 25 වන දින නීති විද්‍යාලයට තම ඉල්ලුම්පත ඉදිරිපත් කරන විට ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයේ නීති උපාධීය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගත් උපාධීයක් ලෙස නොපැවති බවත්, එම පිළිගැනීම ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයට පිරිනමා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වීමෙන් දින 20 කට පසු, 2009 ඔක්තෝබර් 15 වන දින සිට බවත් අදාළ අනාවරණයේ සඳහන්
එසේම සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එවැනි පිටස්තර උපාධියක් සහිත අයෙක් නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයකු ලෙස සුදුසුකම් ලැබීමේ අවසන් පරීක්ෂණයට පෙනී සිටීමට අයදුම් කළ විට අදාළ උපාධි සහතිකය සම්බන්ධයෙන් විධිමත් සොයා බැලීමක් කර එම උපාධියේ ප්‍රමිතිය පිළිබඳ සෑහිමට පත්වුවහොත් පමණක් අදාළ අයදුම්කරු නීති විද්‍යාලයට බඳවා ගැනීම වුව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අයදුම්පත ඉදිරිපත් කළ දිනම ඔහුට නීති විද්‍යාලයේ ලියාපදිංචිය හිමිව ඇති බවයි අනාවරණය වෙන්නේ.
නමුත් විදේශීය නීති උපාධිය ලබා පැමිණෙන සාමාන්‍ය අයදුම්කරුවන්ගේ උපාධිය පිළිබඳව එම විදේශීය විශ්වවිද්‍යාල මගින් නිසි සොයා බැලීමක් කිරීමට මාස ගණනාවක් ගතවන බව නීති විද්‍යාලයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් දි එග්සැමිනර් වාර්තා කර තිබෙනවා.
එසේම සාමාන්‍යයෙන් එවැනි පිටස්තර අයදුම්කරුවෙක් ඉදිරිපත් කරන අයදුම්පත සමග ඔහු ලබාගත් උපාධි සහතිකය සහ උපාධි සවිස්තර සහතිකය අඩංගු වියයුතු වුවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත්කළ අයදුම්පත් සමග ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලය නිකුත් කළ උපාධි සහතිකය තිබී නැහැ.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකින් අනාවරණ වී ඇත්තේ ඒ් වෙනුවට අදටත් නීති විද්‍යාලය සතුව ඇත්තේ ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලය නාමල් රාජපක්ෂ මහතාට නිකුත් කළ ලිපියක් පමණක් බවයි.
අනෙක් කරුණ වන්නේ එම උපාධිය එම විශ්විද්‍යාලය පිහිටි එක්සත් රාජධානියේ නීතිඥ වෘත්තියට ඇතුළු වීම සඳහා ප්‍රවේශ සුදුසුකමක් ලෙස පිළිනොගන්නා බැවින් එම කොන්දේසිය මත ශ්‍රී ලංකාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය යුතුව තිබුණු බවයි අනාවරණය වෙන්නේ.
නාමල් රජපක්ෂ මන්න්ත්‍රීවරයාගේ නීති උපාධිය පිළිබඳ ප්‍රශ්නය අද පාර්ලිමේන්තුවේ ද උණුසුම් මාතෘකාවක් වුණා .

Share